පයින් Art

නොවැම්බර් 14, 2019

හරි මෙහෙමයි

ඉකුත් සතියේ මේ පිටුවේ පොඩි හුටපටයක් වුණා. පින්තූරේ එකක් කතාව තව එකක්. ඒ සියල්ල මෙහෙම හරි ගැස්සුවා. ඔවුන් පිළිබඳ ආයේ ලියැවෙන්නේ මෙන්න මෙහෙමයි.

අවංක අදහස

මෙන්න තවත් බොක්ස් ඔෆිස් චිත්‍රපටයක්! ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම්ට මහ සද්දෙන් එහෙම කියවුණේ ඉබේටමයි. ඔහු මෙලෙස පැවසුවේ ආචාර්ය සෝමරත්න දිසානායකගේ නවතම චිත්‍රපටය සුනාමි නැරැඹීමෙන් අනතුරුවයි. සම්මානනීය සිනමාකරුවෙක් තමන්ගේ නිර්මාණයක් පිළිබඳව අවංකවම එහෙම පැවසුවාම සෝමෙටත් පුංචි ආඩම්බරයක් හිතෙන්නට ඇති.

------------

පැන්ෂන් ගියත් තවම ට්‍රැෆික්

මචං දැන් කොහේ පොලීසියේද උඹ ඉන්නේ?

මිත්‍රයෝ කීර්ති රංජිත් මුණ ගැහුණම එහෙම අහන්නේ ඔහු සේවය කළේ පොලීසීයේ නිසා.

මං දැන් ඉන්නේ ගෙදර පොලීසියේ මචං.

කීර්ති එහෙම කිව්වාම යාළුවන්ට පුදුමයි.

ගෙදර පොලීසියේ?

මිතුරන් පෙරළා එහෙම අහනවා.

ඔව් මචං මං පැන්ෂන් ගියානේ.. දැන් ගෙදර ඉන්නේ. ගෙදර පොලීසියේ තමයි රාජකාරිය.

කීර්ති එහෙම කියන්නේ හිනාවකුත් මුවට නංවාගෙන.

පැන්ෂන් ගිය පොලිස් නිලධාරියෙක් වුණත් කීර්ති තවමත් හිටපු ගමන් මහ පාරේදී දැකගත හැකියි.

 

--------------

හැටට තිහයි තිහට හැටයි

 

සේනානායක වේරලියද්ද ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඔහු ඉතා දක්ෂ ගායකයෙක්. ඒ වගේම නර්ථන ශිල්පියකු ද වෙනවා. වේරලියද්ද දිගු කලකින් අලුත් ගීතයක් ගැයුවේ නැහැ. බොහෝ දෙනෙක් ඉල්ලීම් කරනවා ඔහුට අලුත් ගීතයක් ගයන්න කියලා. ඒ විරාමයට තිත තබලා වේරලියැද්ද අලුත් ගීයක් ගැයුවා. එකේ නම හැඟුමන් බිඳී. අනූ දුනුවිල පද රචනා කළ එය සංගීතවත් කළේ යොවුන් සංගීත අධ්‍යක්ෂ මනෝජ් ෆොන්සේකා. මනෝජ්ගේ ඉල්ලීම මතයි වේරලියද්ද හැඟුමන් බිඳී ගීතයට හඬ මුසු කළේ. මේ ගීතය එළි දැක් වුයේ විශේෂ දවසක. ඒක තමයි මේ පුවතේ විශේෂත්වය. ඉකුත් ඔක්තෝබර් 27 වැනිදා තමයි හැඟුමන් බිඳී සංගීත ලෝලින් වෙනුවෙන් වේරලියද්ද තිළිණ කළේ. එදින තමයි වේරළියද්දගේ හැට වැනි උපන් දිනය යෙදී තිබුණේ. ඒ වගේම මෙම ගීතය නිර්මාණය කිරීමට උනන්දු වූ මනෝජ්ගේ උපන් දිනය ද එදාමයි යෙදී තිබුණේ. ඔහුගේ තිස් වැනි උපන් දිනය. හැටේ උපන් දිනය සහ තිහේ උපන් දිනය සමරන ගමන් තමයි හැඟුමන් බිඳී ජනගත වුණේ. ගයාන් සී. බෙන්තරගේ මෙම ගීතයේ මිශ්‍රණ කටයුතු කළා. ඔහුවත් මතක් කළ යුතුයි.

------------------

සිස්ටම් වෙනස

සිස්ටම් වෙනස ගැන බොහෝ දෙනෙක් කතා වෙනවා. සිස්ටම් එක වෙනස් වෙමින් පවතිනවා. කලා ලොව තුළත් ඒක එහෙම සිද්ධ වෙනවා. ඒකනේ කොළඹ විශ්ව විද්‍යාලයෙන් නිහාල් නෙල්සන්ට උපහාරයක් පුදන්නේ. මේක බොහෝ කලකට ඉහතදී සිද්ධ විය යුතු දෙයක්. නිහාල් වගේ කලාකරුවන් ඉතාම විරළයි. අනික ඔහුගෙන් පසුව ඒ තැන ගන්නට කෙනෙක් නැහැ. ඒකත් සිස්ටම් එකේ අවුලක්නේ. නිහාල් සිය නිර්මාණ ඔස්්සේ නිතර ඇමතුවේ පොඩි මිනිස්සුන්ටනේ. ඔවුන්ගේ අත්පොළසන් නාදය තමයි නිහාල්ගේ එකම සම්මානය වුණේ. සම්මාන දාහක් ගත්තට වඩා සතුටක් රසිකයකුගේ අත්පොළසන් නදින් තමන්ට ලැබෙන බව නිහාල් කියනවා. ලස්සනට පිපුණු වනමල් ගීතය ගයමින් තැබූ නිහාල් නෙල්සන් ලකුණ අදටත් එලෙසමයි. වසර පනහකටත් අධික කාලයක් ගී ලොව ජය කෙහෙළි තැබූ නිහාල් විශ්වවිද්‍යාලයෙන් උපහාර ලැබුවේ ශිෂ්‍යයන්ගේ ගරු බුහුමන මැද්දේ. එදින නිහාල්ගේ ගී ගැන කතිකාවතකුත් පැවැත් වුණා. මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර තමයි ඊට එක් වුණේ.

----------------

ගරු කළ යුතු උතුම් තෑග්ග

රොෂාන් ප්‍රනාන්දු කියන්නේ ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ නායකයා. ෆ්ලෑෂ්බැක් රොෂාන් කිව්වම ආයේ නොදන්න කෙනෙක් නැහැ. රොෂාන්ලා ආව මඟ රෝස මල් අතුරපු එකක් නෙවෙයි. අප්‍රමාණ දුක්විඳලා අද ඔවුන් අංක එකේ සංගීත කණ්ඩායමක් බවට පත් වෙලා තිබෙනවා. රොෂාන් පුංචි කාලේ ඉඳලම ඩ්‍රම්ස් ගහන්න ආසයි. තේ කොළ පෙට්ටි එකතු කරගෙන පොඩි කෝටු කෑලි දෙකකින් තල තල තමයි ඔහු ඩ්‍රම්ස් ගැහිල්ල ආරම්භ කරලා තියෙන්නේ. රොෂාන්ගේ පියා තමන්ගේ පුතා කරන හපන්කම දිහා සතුටු කඳුළු වගුරවමින් බලාගෙන ඉඳලා තියෙනවා. නමුත් ඔහුට ඩ්‍රම්සෙට් එකක් එක සැරේම අරන් දෙන්නට වත්කමක් තිබිලා නැහැ. එක දවසක් පුංචි රොෂාන් උදේ අවදිවෙලා බලනකොට තාත්තගේ අතේ ඩ්‍රම්ස් ස්ටික් දෙකක් තියෙනවලු. ඇස් දෙක පිහදාලා ඒක අතට ගත්තම රොෂාන්ට හිතුණලු මේක විතරක් වෙන්න බැහැ තාත්තා ඩ්‍රම්සෙට් එකකුත් ගෙන්නලා ඇති කියලා. ඒ සිතුවිල්ල ඔස්සේ සාලෙට ගිහින් බලද්දී බැබලි බැබලි තියෙනවලු ඩ්‍රම් සෙට් එකක්. ඊට බොහෝ කාලෙකට පස්සේ රොෂාන් තමන්ට ඩ්‍රම් ස්ටික් දෙකක් දුන්නු අතට දෙනවා තෑග්ගක්. ඒ බී. එම්. ඩබ්ලිව්. කාර් එකක යතුරක්. රොෂාන් එහෙමයි තමන්ගේ පියාට සැලකුවේ. රොෂාන් තමන්ට ඉහළට යන්නට අත හිත දුන් පියාණන්ව නිතර සිහිපත් කරනවා. ඒක විය යුතු දෙයක්නෙ. මේ කතාව ඇතුළේ ඊටත් වඩා ආදර්ශවත් දෙයක් තියෙනවා කියලා ඔබට හිතෙන්නට ඇති.

 

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.