සරසවිය මුල්ම කතුවරිය ලෙස වාර්තාවක් තැබූ දීප්ති ෆොන්සේකා විශ්‍රාම යයි

නොවැම්බර් 21, 2019
දීප්ති, කතුවර කාලයේ සේවය කළ සරසවිය පිරිස සමඟ

 

ලාංකික සිනමා පුවත්පත් ඉතිහාසයේ මුල්ම කතුවරිය ලෙස වාර්තාවක් තැබූ සරසවිය හිටපු කර්තෘ දීප්ති ෆොන්සේකා මහත්මිය වසර 40 ක දීර්ඝ සේවා කාලයකින් පසු පසුගියදා ලේක් හවුස් ආයතනයෙන් විශ්‍රාම ලැබුවාය. ඇය 2003 වසරේ සිට 2005 වසර දක්වා සරසවිය කර්තෘ පදවිය හෙබවූවාය. විශ්‍රාම ලබන විට ඇය ලේක් හවුස් ආයතනයේ ආරෝග්‍යා පුවත්පතේ කතුවරිය ලෙස සේවය කරමින් උන්නාය. ඇය එහි ආරම්භක කතුවරියයි.

සුප්‍රකට ඉන්දියානු සිනමාකරුවන් වූ මනිරත්නම්, අධූර් ගෝපාල් ක්‍රිෂණන් සහ ගායිකා ජමුණා රාණි ප්‍රධාන ආරාධිතයන් ලෙස සරසවිය සම්මාන උලෙළට සහභාගිවූයේ ඇය ප්‍රධාන කර්තෘධුරය හොබවද්දීය. යොවුන් වියේ දී ලේක් හවුස් ආයතනයට එක් වූ ඇය පුවත්පත් කලාවේදිනියක ලෙස අත්පොත් තබනුයේ ද සරසවිය පුවත්පතිනි. තනිතරුව චිත්‍ර කතාවේ හා චිත්‍රපටයේ ද වියරු මුහුද චිත්‍රකතාව හා එය ඇසුරු කොට තැනුණු සප්ත කන්‍යා චිත්‍රපටයේ ද දූදරුවෝ ටෙලි නාට්‍යයේ ද ප්‍රධාන චරිත සියල්ල නම් වූයේ දීප්ති යන නමින් බව බොහෝ දෙනා නොදන්නා කරුණකි. ( පිළිවෙලින් ගෝතමී පතිරාජ , සංගීතා වීරරත්න, සහ නිල්මිණි තෙන්නකෝන්) මේ චරිත තුනම කොණ්ඩය කැපූ දිගු කලිසම් අඳීන යුවතියකගේ චරිත විය.

වසර 40කට පෙර සිංහල පුවත්පත් කලාවේදිනියන් අතර එලෙස ඇඳුම් ඇඳීඅය දුර්ලභ විය. මේ කෘතින් නිර්මාණය කළ නිර්මාණකරුවන් සියල්ල එකල ලේක් හවුස් ආයතනයේ සේවය කළ ජ්‍යෙෂ්ඨයන්ය. ඔවුන් සිය චරිතය ගොඩනඟන්නට එකල දීප්ති ෆාන්සේකා ගේ විලාසය ඉවහල් වූ බව කිහිපවරක්ම පවසා තිබිණ. පුවත්පත් කලාවේදීන් අතර මෙන්ම කලා ක්ෂේත්‍රයේ සියල්ල අ.තර ද දීප්ති ඉතා ප්‍රියමනාප වූවාය. තමාට පැවරෙන ඕනෑම වගකීමක් ඉතා මනාව ඉටු කරලන්නට ඇයට හැකියාව තිබිණ.

පසුගිය සරසවිය සම්මාන උලෙළයන් ද්විත්වයෙහි දීම ඇය සිනමා උලෙළේ විනිශ්චය මණ්ඩලයේ සම්බන්ධීකරණයෙහි නියැළුණාය. ආරෝග්‍යා පුවත්පතේ කතුවරිය ලෙසින් වුව ඇය එම කටයුත්ත ඉටු කරන ලද්දේ සරසවියට ඇති ඇයගේ ඇල්ම නිසාවෙනි. සේවයෙන් නිල වශයෙන් විශ්‍රාම ගිය දීප්ති ෆොන්සේකාට සරසවිය කර්තෘ මණ්ඩලය විසින් ලොකු අක්කායැයි ආදරයෙන් අමතන අතර ඇයට නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා යැයි සරසවිය ප්‍රාර්ථනා කරයි.

 

ලේක්හවුස් සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහතා දීප්ති කළ සේවය අගයමින්

 

 

සරසවිය වත්මන් කර්තෘ අරුණ ගුණරත්නගෙන් සුබ පැතුම්

 

 

විශ්‍රාම යනවිට ප්‍රධාන කතුවරිය ලෙස සේවය කළ ආරෝග්‍ය පුවත්පතේ පිරිවර සමඟ

 

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 18 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.