‘ගම්පෙරළිය’

අද ඉන්දියානු අන්තර්ජාතික සිනමා උලෙළේ
නොවැම්බර් 21, 2019
විෂම භාග

 

පළමු සරසවිය සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය ලෙස සම්මාන දිනා පසුව ඉන්දියානු අන්තර් ජාතික සිනමා උලෙළේ දී හොඳම චිත්‍රපටය ලෙස මුල්ම රණ මයුර සම්මානය දිනූ ගම්පෙරළිය අද සවස 3.00ට ඉන්දියාවේ ගෝවේ ප්‍රාන්තයේ අගනුවර වන පනාජි නගරයේ අයිනොක්ස් සිනමා සංකීර්ණයේ දී නැවත තිරගත වනු ඇත. ඒ ඉන්දියානු අන්තර්ජාතික සිනමා උලෙළේදීය.

මෙවර පැවැත්වෙනුයේ උලෙළේ පනස් වැනි අදියරයි. 1953 වසරේ දී නවදිල්ලයේ දී ආරම්භ කරන ලද ඉන්දියානු අන්තර්ජාතික සිනමා උලෙළ 3 වැනි වරට පැවැත්වූයේ 1965 වසරේ වන අතර එය අන්තර්ජාතික තරගකාරි උලෙළක් බවට පරිවර්තනය වූයේ ද එම වසෙර්ය. එවර මුල් වරට රණ මයුර සම්මානය පිරි නැමුණු අතර එම සම්මානය දිනාගත්තේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් නිර්මාණය කරන ලද ගම්පෙරළිය චිත්‍රපටයටයි. ගෝවේ ප්‍රාන්තයේ පනාජි නගරයේ පැවැත්වෙන මෙවර උලෙළ සඳහා රණ මයුර සම්මාන දිනූ චිත්‍රපට කිහිපයක් නැවත ප්‍රදර්ශනය වන අතර එය ආරම්භ කරනුයේ ගම්පෙරළිය සමගය. මේ සඳහා නවතම ඩිජිටල් පිටපතක් තිර ගත වනු ඇත. මේ අවස්ථාවට චිත්‍රපටය වෙනුවෙන් එහි සංස්කාරිකා හා සම නිෂ්පාදිකාව වූ සිනමා කිවිඳීය සුමිත්‍රා පීරිස් මහත්මිය විශේෂ ආරාධිතයකු ලෙස සහභාගිවීමට නියමිතය.

 

 

ඉන්දියානු අන්තර්ජාතික සිනමා උලෙළේ දී හොඳම නිළියට හිමි සම්මානය නිළි රැජන මාලිනී ෆොන්සේකා ද (ආකාස කුසුම්) අනෝජා වීරසිංහ (මල්දෙණියේ සිමියොන්) ද ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටය සඳහා ඉන්දියානු නිළි අංජලී පටෙල් ද දිනා ගනිමින් ලාංකික සිනමා නාමය අන්තර්ජාතික තලයේ රඳවන ලදී. මෙවර ඉන්දියානු අන්තර්ජාතික උලෙළ ඊයේ (20) නිල ආරම්භය පැවැත් වූ අතර එය මෙහෙය වන ලද්දේ කරන් ජොහාර් විසිනි. මෙවර සිනමා උලෙළේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ විෂම භාග චිත්‍රපටය තිර ගත වනු ඇත. ස්වර්ණ ජයන්ති උලෙළ වෙනුවෙන් මුල්වරට ස්වර්ණ ජයන්ති ප්‍රතිමාණ නමින් සම්මානයක් පිරිනැමුණු අතර එය පිරිනැමුණේ සුපිරි නළු රජිනි කාන්ත්ටය. උලෙළ සඳහා සම්මානනීය කලා අධ්‍යක්ෂ ලාල් හරින්ද්‍රනාත්, සහාය අධ්‍යක්ෂවරුන් වූ දමින්ද මඩවල සහ චාමර සේලාර ද පැමිණ සිටියහ.

ඉන්දියානු අන්තර්ජාතික සිනමා උලෙළ ආසියාවේ පැරණිතම හා දැවැන්තම සිනමා උලෙළක් ලෙස සැලකෙයි.

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.