“පාංශු” සහ “අසන්ධිමිත්තා”

ජෝග්ජා-නෙට්පැක් ආසියානු සිනමා උලෙළට
නොවැම්බර් 28, 2019

 

ආසියානු කලාපීය රටවල සිනමා නිර්මාණ වෙනුවෙන් ප්‍රමුඛත්වය හිමිකර දෙන ජෝග්ජා-නෙට්පැක් ආසියානු සිනමා උලෙළ (Jogja-Netpac Asian Film Festival) පසුගිය නොවැම්බර් 19 වෙනිදා සිට 23 වෙනිදා දක්වා ඉන්දුනිසියාවේ යෝග්යාකර්තා නුවරදී පැවැත්වුණි. 2006 වර්ෂයේදී සමාරම්භය සනිටුහන් කළ ජෝග්ජා-නෙට්පැක් ආසියානු සිනමා උලෙළේ 14 වෙනි අදියර මෙම වසරේදී ක්‍රියාත්මක වූ අතර, ආසියා පැසිෆික් සිනමාවේ සංවර්ධනය සඳහා වූ කේන්ද්‍ර ජාලය හෙවත් නෙට්පැක් ආයතනය (NETPAC) සහ සිනමා උලෙළ සංවිධාන කමිටුව එක්ව මෙම උළෙල සංවිධානය කරනු ලැබීය.

2006 සිට 2018 දක්වා වූ අදියරයන් 13 තුළදී ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපට 09ක් ජෝග්ජා-නෙට්පැක් උලෙළ නියෝජනය කිරීමට සමත්ව තිබූ අතර, මෙම වර්ෂයේදීද ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපට 02 කට උලෙළ නියෝජනය කිරීමේ වරම් හිමිව තිබුණි. ඒ අනුව විසාකේස චන්ද්‍රසේකරන්ගේ "පාංශු" චිත්‍රපටය 'ආසියානු වෘත්තාන්ත සිනමාපට තරඟකාරී අංශය' (Asian Feature Competition)  යටතේද, අසෝක හඳගමගෙගේ "අසන්ධිමිත්තා" සිනමාපටය 'ආසියානු පර්යාවලෝකනයන්' (Asian Perspectives)  නම්වූ තරඟකාරී නොවන අංශය යටතේද උළෙලේ තිරගත විය.

 

ආසියානු කලාපයට අයත් සිනමාපට 16ක් මෙවර 'ආසියානු වෘත්තාන්ත සිනමාපට තරඟකාරී අංශය' නියෝජනය කළ අතර, එකී සිනමාපට දහසය කාණ්ඩ 02ක් යටතේ සම්මාන 04ක් සඳහා තරඟ වැදුනි. මෙහිදී පළමු කාණ්ඩය යටතේ වූ සිනමාපට 08, උලෙළේ පිරිනමන ඉහළම සම්මාන ද්විත්වය වන 'ස්වර්ණ හනුමා' සහ 'රජත හනුමා' (Golden Hanoman/ Silver Hanoman)  යන සම්මානයන් සඳහා තරඟ වැදුනි . "පාංශු" චිත්‍රපටය ඇතුළුව දෙවන කාණ්ඩය යටතේ වූ සිනමාපට 08, නෙට්පැක් සම්මානය (NETPAC Award)  සහ ගෙබර් සම්මානය (GEBER Award) යන සම්මාන ද්විත්වය සඳහා තරඟ වැදුණි. ෆිඇප්ෆ් (FIAPF) අනුමත ලොව "ඒ" ශ්‍රේණියේ සිනමා උලෙළක් වන කැනඩාවේ මොන්ට්‍රියල් අන්තර්ජාතික සිනමා උලෙළෙන් (Montreal World Film Festival) 2018 වර්ෂයේ අගෝස්තු මාසයේදී අන්තර්ජාතික ගමන් ඇරැඹූ "පාංශු" චිත්‍රපටය තිරගත වූ 14 වෙනි අන්තර්ජාතික සිනමා උලෙළ ජෝග්ජා-නෙට්පැක් ආසියානු සිනමා උලෙළ විය. එසේම ආසියාවේ සුවිශාලතම සිනමා උලෙළ ලෙසට සැලකෙන දකුණු කොරියාවේ බූසාන් අන්තර්ජාතික සිනමා උලෙළෙන්  (Busan International Film Festival) 2018 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී අන්තර්ජාතික ගමන් ඇරැඹූ "අසන්ධිමිත්තා" සිනමාපටය තිරගත වූ 06 වෙනි අන්තර්ජාතික සිනමා උලෙළ මෙය විය.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.