ශ්‍රී සුගත අභයදාන සංගමයේ 14 වැනි සැමරුම

නොවැම්බර් 28, 2019

ප්‍රවීණ ගීපද රචකයෙකු වන පූජ්‍ය මීගහවෙල සුමනශාන්ත හිමියන් හා ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් ගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද ශ්‍රී සුගත අභයදාන සංගමයේ 14 වැනි සංවත්සරය පසුගියදා පිළියන්දල තුම්බෝවිල ශ්‍රි සද්ධර්මාරාම විහාරස්ථානයේදී පැවැත්විණ. මරණයට කැපවූ ගවයන්ට අභයදානය ලබාදීම ඇතුළු ආගමික හා සංස්කෘතික පින්කම් රැසක් මෙදින දවස පුරා එම ස්ථානයේදී සිදු විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ආචාර්ය ප්‍රණීත් අභයසුන්දරයන් මෙහිදී ප්‍රධාන දෙසුම පැවැත් වූ අතර විශේෂ දෙසුමක් ප්‍රවීණ රංගධර ජයලාල් රෝහණ විසින් පවත්වන ලදී. ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත තුම්බෝවිල ධම්මරතන හිමි, ප්‍රවීණ රංගනවේදී විජේරත්න වරකාගොඩ, ප්‍රවීණ නිවේදක ලැම්බට් පෙම්මාවඩු, ප්‍රවීණ නර්තන හා ගායන ශිල්පිනී දයා නෙල්ලම්පිටිය ප්‍රවීණ ගායක නිහාල් නෙල්සන්, අමද්‍යප මාධ්‍යවේදී ලක්දාස් ප්‍රනාන්දු සහ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ හා නිෂ්පාදක, කිරිබත්ගොඩ අරුණ සිනමා අධිපති සුනිල් අරුණ වීරසිරි මෙහිදී දේශභක්ති ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූහ. අභයදාන සංගමයේ ප්‍රධාන සංවිධායක දේශභක්ති, දේශකීර්ති වසන්ත සේනානායක ඇතුළු ප්‍රවීණ ජනප්‍රිය කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. මේ එම උත්සවයේ අවස්ථා කිහිපයකි.

Add new comment