කට කතා බොරු! දෙසැම්බර් 26 ‘සුනාමි’ එයි

දෙසැම්බර් 5, 2019

 

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ රේණුකා බාලසුරිය නිෂ්පාදනය කළ නවතම සිනමා සිත්තම ‘සුනාමී’ මෙම මස 26 වැනිදා දිවයින පුරා සිනමා ශාලා අසුවකට අධික ප්‍රමාණයක තිරගත වීමට නියමිතය.

ඊ.ඒ.පී මණ්ඩලය ප්‍රධාන කොට දිවයින පුරා සිනමාශාලා බහුතරයක තිරගත වීමට නියමිත සුනාමී චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම කල්යන වගට මේ දිනවල පැතිර යන දුෂමාන ආරංචියේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් මීට වසරකට පෙරාතුව ඊ.ඒ.පී. සැවෝයි මණ්ඩලය ප්‍රධාන කොට ඇති කරගත් ගිවිසුමට අනුව චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට යොදාගත් අයුරින්ම මෙම මස 26 වැනිදා සුනාමී චිත්‍රපටය තිරගත කෙරෙන බවත් ආචාර්ය සෝමරත්නයන් අවධානයෙන් ප්‍රකාශ කරයි.

ආචාර්ය සෝමරත්න දිසානායක

මේ වන විටත් සුනාමී චිත්‍රපටය නැරඹීමට මඟ බලා සිටි සිනමා රසිකයින්, චිත්‍රපටය තිරගතකිරීමට දැඩි අපේක්ෂාවකින් පසු වූ සිනමා ශාලා හිමියන් මෙන්ම සිනමා සංගම් සාමාජිකයින් මෙම පැතිර යන දුෂමාන ආරංචිය පිළිබඳ තමන්ගෙන් විමසීම් කරන්නට පටන් ගෙන ඇති බව ද සෝමරත්නයන් පවසයි.

තම සුනාමී චිත්‍රපටය සඳහා බංගලාදේශය, ඉරානය, ප්‍රංශය ආදී රටවල ද අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළවල තරගකාරී අංශය සඳහා මේ වන විටත් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බවත් සෝමරත්නයන් පවසයි.

මිනිත්තු 105ක් පුරා දිගහැරෙන ලෝකයේ නවීනතම ශබ්ද තාක්ෂණය වන ඩොල්බි ඇට්මොස් තාක්ෂයෙන් යුතු අධික පිරිවැයක් දරා නිර්මාණය කොට ඇති සුනාමී චිත්‍රපටය මෙරට සිනමා පේ‍්‍ර්ක්ෂකයන්ට නවමු අත්දැකීමක් ලබාදීමට නිර්මිත පවුලේ චිත්‍රපටයකි.


රේණුකා බාලසූරිය

2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා පැමිණි සුනාමී ස්වභාවික ව්‍යසනය සිදු වී වසර 15ක් සපිරෙන මෙම මස 26 වැනිදා ආචාර්ය සෝමරත්නයන්ගේ සුනාමී චිත්‍රපටය දිවයින පුරා තිරගත වීම ද විශේෂත්වයකි.

මෙතෙක් කලක් තමන්ගේ සිනමා නිර්මාණයන්ට ආදරය කළ තමන් සමඟ බැදී සිටි සියලු සිනමා පේ‍්‍රක්ෂකයන්ට එලැඹෙන 26 වැනිදා පටන් තමන්ගේ නවතම සිනමා සිත්තම වූ “සුනාමී” චිත්‍රපටය හා අත්වැල් බැදගන්නා ලෙස ආරාධනා කරන බවද සෝමරත්නයන් සරසවියට පැවසුවේය.

-චන්දන-

 

 

Add new comment