තාමත් ඒ වගේ

ජනවාරි 2, 2020

ඉකුත්දා නිමාව දුටු දහ හත් වැනි රිදී රැයක් ප්‍රසංගයේදී දෙදෙනෙකු උපහාර තිළිණ ලැබුවා. ඒ සිනමා සංරක්ෂක තිස්ස නාගොඩවිතාන සහ ප්‍රවීණ රංගනවේදිනී නීටා ප්‍රනාන්දු. නීටාට සම්මාන දෙන්න වේදිකාවට ගොඩ වැදුණේ ප්‍රවීණ රංගධර ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය. ඔහු සාමාන්‍යයෙන් මේ වගේ අවස්ථාවලට පැමිණෙන්නේ ෆුල් සූට් එක හෝ ඒ හා සමාන ඇඳුමකින් සැරසිලා. එහෙත් එදා රවී හිටියේ ටී ෂර්ට් එකක් ඇඳගෙන. ඔහු එහෙම ඔය වගේ තැනකට එන්නෙම නැහැනෙ. රවී වේදිකාවට එද්දී ඔහු සහ නීටා රඟපෑ අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් වන දුහුළු මලක් පිළිබඳ මතකය යළිත් ආවර්ජනය වුණා. ඒ මොහොතෙහි දුහුළු මලක් චිත්‍රපටය තරමටම ජනප්‍රියත්වයක් ලැබූ බොඳ මීදුම් කඳු රැල්ලේ ගීතය තිරයේ දිස්වෙමින් තිබුණේ. නීටා ළඟට පැමිණි රවී තමන්ගේ ඇඳුම පෙන්වන ගමන් මෙහෙම ඇහැව්වා.

නීටාට මතකද මේ ටී ෂර්ට් එක.

නීටා ටිකක් කල්පනා කළා. පේන හැටියට ඇයට ඒ පිළිබඳ මතකයක් නැහැ වගේ.

බලන්න නීටා අර සින්දුව.

රවී කිව්ව ගමන් නීටාට තිරයේ දිස් වුණ බොඳ මීදුම් කඳු රැල්ලේ ගීතයේ ජවනිකාවක් නෙත ගැටුණා. රවී එවලේ ඇඳගෙන හිටියේ එදා එම ගීතයේ රංගනයට භාවිත කළ ටී ෂර්ට් එක. වසර හතළිස් පහක් පුරා රවී එය ඉතාම සුරක්ෂිතව තබාගෙන ඉඳලා. නිකමට හිතන්නකෝ ඇඳුමක් එච්චර කල් තියාගෙන ඉන්න කොතරම් පරිස්සම් කරන්න ඕනද කියලා. වසර හතළිස් පහක් ගියත් මෙදා රවී ඒ ටී ෂර්ට් එක ඇන්දම එදා වගේම කඩවසම් කියලයි එතන හිටපු හැමෝම කිව්වේ.

ප්‍රසාද් සමරතුංග

නිශ්ශංක විජේරත්න /අන්තර්ජාලයෙන්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.