චිත්‍රපට සංරක්ෂණයේ අලුත් පියවරක් ගොවි තාත්තා සංරක්ෂණයට

ජනවාරි 23, 2020

දේශීය චිත්‍රපට සංරක්ෂණ ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරළමින් මෙතෙක් තිරගත නොකළ චිත්‍රපටයක ඩිජිටල් පිටපතක් සංරක්ෂණය සඳහා බාරදීමේ ඵෙතිහාසික අවස්ථාවක් පසුගියදා කොළඹ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ දී සිදුවිය. එහිදී දර්ශන රුවන් දිසානායක අධ්‍යක්ෂණය කරන ලද ගොවි තාත්තා චිත්‍රපටයේ පිටපතක් එහි නිෂ්පාදක සරත් කොක්වැව විසින් ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය නදීරා රූපසිංහ වෙත බාර දෙන ලදී.

මෙරට රජයේ නිල චිත්‍රපට සංරක්ෂණාගාරය වන ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ චිත්‍රපට සංරක්ෂණාගාරය 2014 වසරේ ආරම්භ කරන ලද්දේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 95 වැනි උපන් දිනය වෙනුවෙනි. මෙම චිත්‍රපට සංරක්ෂණාගාරය මඟින් චිත්‍රපට රාශියක් මේ වන විට සංරක්ෂණය කර ඇති අතර එහි ඇති පැරණිතම චිත්‍රපටය දෙවැනි සිංහල කතානාද චිත්‍රපටය වන අශෝකාමාලා චිත්‍රපටයයි. ගොවි තාත්තා චිත්‍රපටය සමඟ මෙම සිනමා සංරක්ෂණාගාරය වර්තමාන ඩිජිටල් චිත්‍රපට සංරක්ෂණයට ද එක්වෙනු ඇත. පසුගිය කාලයේ ඩිජිටල් තාක්ෂණය යටතේ නිර්මාණය වූ බොහෝ චිත්‍රපට පිටපත් මේ වන විටත් අතුරුදන්ව ඇති යුගයක ගොවි තාත්තා සංරක්ෂණය කිරීම මෙරට චිත්‍රපට සංරක්ෂණයට කළ මහඟු ක්‍රියාවක් ලෙස සැළකිය හැකිය. මෙම උත්සවයට දම්මිත් ෆොන්සේකා මෙන්ම ශෂික රුවන් මාරසිංහ ද සහභාගි වූහ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.