ජැක්සන්ගේ ‘කන්ද උඩ ගින්දර’

ජනවාරි 23, 2020

ජැක්සන් ඇන්තනි පසුගියදා සිය නිර්මාණ චාරිකාවේ අලුත් පිටුවක් පෙරළුවේය. ඒ නවකතා රචකයකු හැටියට දොරට වඩිමිනි. චිත්‍රකතා ශිල්පියකු හැටියට නිර්මාණ දිවියට මූලිකව පිවිසුණු ජැක්සන් විශිෂ්ට රංගවේදියකු, සිනමාකරුවකු, තිර නාටක රචකයකු ආදී සියලු අංගයන්ගෙන් සිය ‘මුද්‍රාව‘ ස්ථාපිත කළේය. ඔහු නවකතාකරුවකු ලෙස දොරට වඩින ‘කන්ද උඩ ගින්දර’ කතාවට පාදක වුණේ මහනුවර යුගයේ අවසන් සිංහල රජු වූ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ සමයයි. මෙරට දේශපාලන ඉතිහාසයේ ‘බරපතල විප්ලවීය’ සමයක් ලෙස ගිණිය හැකි මේ සමය තුළ ප්‍රකට මෙන්ම අප්‍රකට ජනකතා රාශියකි.

**********************

කීර්තිගේ උපන් දිනය දා ජීවිත කතාව එළිදකී

අපේක්ෂා රෝහලටත් පරිත්‍යාග

 

ජනප්‍රිය ගායක වාද්‍ය ශිල්පී කීර්ති පැස්කුවල්ගේ ගෙවුණු 38 වසරක කලා දිවියේ සීමා විරහිත සියලු කඩයිම් ඇතුළත්ව ලියැවුණු කීර්ති - සුන්දර මියුරු සරක ආනන්දනීය චාරිකාව‘ ග්‍රන්ථය එළි දැක්වීම මෙම මස 26 වැනිදා සවස ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී සිදු වේ. එය උපාලි කුමාරවංශගේ රචනයකි. එයට සමගාමීව කීර්ති විසින් පෙර පවත්වනු ලැබූ මනමාල හැන්දෑවේ ප්‍රසංගයේ ඩීවීඩී තැටිය ද නිකුත් වනු ඇත. එමෙන්ම මෙම මස 29 වැනිදා මහරගම අපේක්ෂා රෝහලේ ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකයට රුපියල් ලක්ෂ 75 ක මුදලක් පරිත්‍යාග කිරීම ද කීර්ති විසින් සිදු කෙරෙනු ඇත.

****************************

රණපුරට ආනන්දනීය සිංහල සිනමාවෙන් උපකාර

රාගම පුනරුත්ථාපන රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රංගන ශිල්පී කුමාර රණපුරගේ සුවදුක් සොයා බැලීමට ආනන්දනීය සිංහල සිනමා සහෘදයින් සංවිධානයේ පිරිස ඉකුත් දා පිටත්ව ගොස් තිබුණි. එහිදී කුමාර රණපුරට අවශ්‍ය බෙහෙත් මිල දී ගැනීමට මූල්‍ය පරිත්‍යාගයක් ද සිදු කෙරිණ.

***********************

‘කළු පාට කුරුල්ලා’

 

මලී දිසානායක රචනා කළ ‘කළු පාට කුරුල්ලා’ කෙටි කතා සංග්‍රහය මේ මස 28 වැනිදා කොළඹ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ පොත් ප්‍රදර්ශනාගාරයේදී එළි දකී.

‘කළු පාට කුරුල්ලා’ කෙටි කතා සංග්‍රහය තුළින් ගලා එන්නේ වත්මන් පරපුරට අහිමි වී යන සිංහල ගැමි සමාජයේ නුමුහුන් සුවඳයි. ඕස්ට්‍රේලියානු සමාජයෙන් ලත් අත්දැකීම්වලින් නිර්මාණය කෙරුණ රසවත් කෙටි කතා කීපයක් ද මෙම ග්‍රන්ථයට ඇතුළත් වෙයි.

******************

ගායක ගායිකාවන්ගෙන් ලේ දන්දීමකට ආරාධනා

ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය මඟින් සංවිධානය කරනු ලබන ලේ දන්දමේ වැඩ සටහනක් මෙම මස 28 වැනිදා දවස පුරා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජ මහ විහාරයේදී පැවැත්වේ. මෙමඟින් එකතු කර ගන්නා රුධිරය මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාග කිරීමට නියමිතය. ලේ දන්දීමට කැමැති අයකු වෙතොත් මෙයට සහභාගී වන ලෙසට ගායක ගායිකා සංගමය ඇරැයුම් කොට සිටියි.

*****************

ඉන්දිවරී 29 දා

ආර්ථික අපහසුතාවෙන් පෙළෙන දැයේ දරුවන් උදෙසා පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය කෘෂි විද්‍යාර්ථින් ව්ඥඥඤර අරමුදල උදෙසා පවත්වනු ලබන ඉන්දිවරී ප්‍රසංගය මෙවරත් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. වසරක් පාසා සංවිධානය කරනු ලබන ඉන්දිවරී සංගීත ප්‍රසංගය මේ මස 29 වැනි දින සවස 07ට පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. නලින් පෙරේරා ප්‍රමුඛ මේරියන්ස් සංගීත කණ්ඩායම සමඟ රූකාන්ත ගුණතිලක, කසුන් කල්හාර එදින ප්‍රසංගය ගීතවත් කරති. කථනය මනුරංග විජේසේකරගෙනි.

**************

රංගනය පිළිබඳ න්‍යායික හා ප්‍රායෝගික වැඩමුළුවක්

රංගනය පිළිබඳව න්‍යායිකව සහ ප්‍රායෝගිව විධිමත්ව හැදෑරීමේ අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන් සඳහා හය මාසික වැඩමුළුවක් නොමිලේ පැවැත්වීමට ටැලන්ට් ඒෂියා දෘශ්‍ය හා රංග කලා ඇකඩමිය කටයුතු යොදා තිබේ.

මෙම හය මාසික වැඩමුළුව විධිමත් ලෙස නිමාකරන නිර්මාණශිලී තරුණ තරුණියන්ට ටැලන්ට් ඒෂියා ආයතනය මගින් නිෂ්පාදනය කරන නාට්‍ය හා සිනමා නිර්මාණ සඳහා රංගනයෙන් දායකවීමේ මහඟු අවස්ථාවද හිමිවෙයි.

දිවයිනේ ප්‍රවීණ නාට්‍යවේදීන් හා සිනමාවේදීන් ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ වැඩමුළුව සඳහා ගායනය නර්තනය හා රංගනය පිළිබඳව හැකියාවන් ඇති අය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරෙන අතර ඒ සඳහාවන විස්තර හා ඉල්ලුම්පත් 0764011172\0768136597 දරන දුරකතන අංක අමතා ලබා ගතහැකිය.

චිත්‍ර ඇදීමට කුසලතාවක් හෝ උනන්දුවක් දක්වන තරුණ තරුණියන් සහ වැඩිහිටියන් සඳහා සජීවී චිත්‍ර ඇදීම පිළිබඳ දින 2ක න්‍යායික හා ප්‍රායෝගික වැඩමුළුවක් පැවැත්වීමට ද ටැලන්ට් ඒෂියා  (TalentAsia)  දෘශ්‍ය හා රංග කලා ඇකඩමිය කටුයූතු යොදා ඇත.

සෞන්දර්ය විශ්වවිද්‍යායාලයේ හිටපු පිඨධිපති මහාචාර්ය ඇල්බෙට් ධර්මසිරි, සෞන්දර්ය විශ්ව විද්‍යායාලයේ සහ California Art Institute හී උපාධිධාරී කිත්සිරිමෙවන් ජයසේන, රොහාන් ප්‍රියංකර, (Goldsmiths college university of London)  චිත්‍ර කලා උපදේශක ඒ.ඇල්.ඩී.සිරිසේන යන අය මෙම වැඩමුළුව මෙහෙයවනු ලබයි.

***********************

බයිලා සංවත්සරය 25 දා

 

සමස්ත ලංකා සරල බයිලා සංගමයේ 52 වැනි සංවත්සර සැමරුම මෙම මස 25 වැනිදා සවස කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. බයිලා සන්දර්ශනයක් ද මෙයට සමගාමීව සංවිධානය කොට ඇති අතර මේ සඳහා සහභාගි වන්නට බයිලාවලට ළැදි සියලු දෙනාට සමස්ත ලංකා සරල බයිලා සංගමයේ සභාපති ආර්. සුමතිපාල පෙරේරා විවෘත ආරාධනාවක් කරයි.

********************

අතිගරු වානගුරු සමඟ මමයි ඩොක්ටර් 25 වැනිදා

 

එස්. විජේසිංහ නාට්‍ය නිර්මාණය අතිගරු වානගුරු සමඟ මමයි ඩොක්ටර් මෙම මස 25 වැනිදා සවස කැලණිය සංස්කෘතික මධ්‍යස්ථානයේ ශ්‍රවණාගරයේදී වේදිකා ගත වේ.

සුජීව සමන්, නීලා ධම්මික, මනෝ ප්‍රසන්න, අජිත් බෝගොඩ සමඟ මයුර නිසල් මෙහි රංගනයේ යෙදෙති.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.