දම්මි තක්ෂිලාවට

ජනවාරි 23, 2020

 

ලංකේය සාහිත්‍ය කලාව තුළ ගොළු හදවත කෘතියට ඇත්තේ වෙනමම තැනකි. එය එකල මෙන්ම අතිශය ජනප්‍රිය නවකතාවක් වීම ද එයට හේතුවකි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් එම කෘතිය ඇසුරෙන් එනමින්ම සිනමාපටයක් නිර්මාණය කෙරුවේය. එහි දම්මි ලෙස රඟපෑ අනුලා කරුණාතිලක අදටත් ජනප්‍රිය දම්මි යන නමිනි. ඇය ඒ වෙනුවෙන් සරසවිය සම්මානය ද දිනාගත්තාය. ගොළු හදවත නවකතාවට පාදක වූ ඇත්ත දම්මි ගිය පාසල හොරණ තක්ෂිලාවයි. ගොළු හදවත කියවාගෙන එද්දී චිත්ත රූපයක් සේ මැවුණේ එම පාසලයි.

ආචාර්ය ලෙස්ටර් ගොළු හදවත සිනමා කෘතියට යොදා ගත්තේ වෙනත් පාසලකි. එහෙයින් අසා තිබුණා මිසක එහි දම්මි හෙවත් අනුලා ජීවිතයේ එක වතාවක් හෝ හොරණ තක්ෂිලාවට ගිහින් තිබුණේ නැත. ඉකුත් දිනයකදී ඇයට ගොළු හදවතට පාදක වූ එම පාසලට යන්නට අවස්ථාව උදා විය. ඒ ඇය වෙත සංවිධානය කොට තිබූ විශේෂ උපහාර උලෙළකට ඇරැයුම් ලැබීම හේතුවෙනි. අනුලා හොරණ තක්ෂිලාවට ඇතුළු වී එහි බොහෝ තැන්වල ඇවිද්දේ ගොළු හදවතේ මතක අවුස්සාලමිනි. මෙතනම චිත්‍රපටයත් ෂූට් කරන්නට තිබුණා නේද කියා ඇයට සිතිණ. කෙසේ වෙතත් අනුලා ගොළු හදවත තිරගත වී වසර පනහකට පමණ පසු හොරණ තක්ෂිලාවට ගොඩ වැදීම විශේෂ අවස්ථාවකි. ඇයට හොඳම නිළිය ලෙසට සම්මාන ලැබීමට වරම් හිමි වූයේ ද ගොළු හදවත නිසාය.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.