නොගැළපෙන ජෝඩුවක් ගැළපුණු අවුරුදු විස්සක්

ජනවාරි 30, 2020

කාජල් - අජේ

කාජල් මා වෙනුවෙන් බොහෝ කැපවීම් කර තිබෙනවා - අඩු කතාබහට කැමති අජේ දේව්ගන් කාජල් ගැන වැඩියෙන් කතා කරයි.අජේ දේව්ගන් සහ කාජල් එක්ව රඟපෑ මුල්ම චිත්‍රපටය හල්චල්. ඒ 1995දී. එදා ඉඳන් ළං වුණු ඒ දෙහද 1999 දී එකම හදක් බවට පත් වුණා. බොහෝ දෙනා කීවේ මේ දෙදෙනා තරම් නොගැළපෙන ජෝඩුවක් නැහැ කියලා. ඒත් ගැළපෙනවාය කියා හිතූ ඒවා නොගැළපී යද්දි මේ දෙදෙනාගේ බැඳීම දශක දෙකක් පුරා වර්ධනය වුණා. ඔවුන්ට ඇත්තේ පාසල් ප්‍රේම පුරාවෘත්තයක්. අදටත් අජේ ගැන විමසද්දි කාජල්ලේ දෙකොපුල් රත්පැහැ ගන්නේ එදා වගේමයි. අජේගෙන් කාජල් ගැන විමසන විට අදත් ඔහු මහත් උද්දාමයට පත්වනවා. ඔවුන් මැවී ඇත්තේ ඔවුන් වෙනුවෙන්මයි. මේ අජේගෙනුත් කාජල්ගෙනුත් ඔවුනොවුන් ගැන වගේම දෙමාපියන් ලෙස ඔවුන්ගේ අදහස් විමසන මොහොතක්...

අපි මුලින්ම හමුවුණේ අජේව. කාජලුත් අජේත් ළඟදීම එකට රඟපෑ තණ්හාජි චිත්‍රපටය ගැනයි ඔහු කතාව ඇරඹුවේ.

තණ්හාජි ගැන ඉතිහාස පොත්වල ලියැවී තිබෙන්නේ සුළුවෙන්. තණ්හාජි කියන්නේ මහාරාජ් ඡත්‍රපති සිවාජිගේ හමුදා නායකයෙක්. මම තිරපිටපත කියෙව්වාට පස්සේ ඔහු දිවිහිමියෙන් ඉතිහාසයට කළ කැපකිරීම කොපමණද කියා දැනගත්තා. ඔහු 1670 රණබිමේදී මියගිය විරුවෙක්. ඒ නිසා අපි, ඒ කියන්නේ මගේ සිනමා ආයතනය සූදානම් කළා අන්සන්ග් වොරියර්ස් නමින් නිහඬව සේවය කළ රණවිරුවන් ගැන නිර්මාණ පෙළක් දියත් කරන්න. එහි පළමුවැන්න තමයි තණහාජි. මේ තේමාව ඔස්සේ පිළිම නෙළා නැති විරුවන් පිළිබඳ කතා කියන්නයි අපට අවශ්‍ය. මේ විරුවන් රණබිමේ යුදවැදුණු අයම විය යුතු නැහැ. සමාජ යහපත උදෙසා වැඩකළ අයත් මේ ගොන්නට අයිතියි.

මේ කතාව ඔහු අතට පත් වූ ආකාරයද අජේ හෙළි කළේය.

ඕම් රාවුත් අධ්‍යක්ෂවරයා මේ කතාවත් රැගෙන මා හමුවුණා. ලෝක් මාන්යා: ඒක් යුග් පුරුෂ් කියන මරාති චිත්‍රපටය 2015 වසරේ අධ්‍යක්ෂණය කළේ ඔහු. ඒ සඳහා විවිධ සම්මාන රැසකුත් ඔහු දිනාගත්තා. මරාති ඉතිහාසය පිළිබඳවත් ඔහුට විශාල දැනුමක් තිබුණා. පිටපත මගේ හිතට තදින්ම ඇල්ලුවා. අපට පැහැදිලිවම තේරුණා මේ චිත්‍රපටය ලේසි එකක් නෙවෙයි කියලා. ඒ මුල්‍ය අංශයෙන් නම් නෙවෙයි. ඒත් තාක්ෂණය අතින් විශේෂඥ දැනුමක් සහිත කෙනකු අවශ්‍යව තිබුණා ඕම් වගේ මේ තණහාජි චිත්‍රපටය සඳහා. ඒ චරිතයත් ඒ වගේම ප්‍රතිභාන්විතයි. ඒ වගේ ඓතිහාසික චරිතයක් ඉදිරිපත් කිරීමේදී ඒ චරිතයේ ආත්මාභිමානය වගේම ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ ඉතාම සවිඥානක විය යුතුයි.

විශාල වියදම් දරන මහා පරිමාණයේ ඉතිහාස කතා අද යුගයේ අවශ්‍යතාවක් වගේ?

ගෝල්මාල් රිටර්න්ස් කරද්දි මගෙන් ඇහුවේ වත්මන් ප්‍රවණතාව ප්‍රහසනද කියලා. ඇත්තෙන්ම ප්‍රවණතාවක් කියලා දෙයක් නැහැ. ඕනෙම ආකාරයක චිත්‍රපටයක් බොක්ස් ඔෆිස් කෘතියක් වන්න පුළුවන්. විය යුත්තේ චිත්‍රපටය හොඳ වීමයි. මේ දවස්වල මම විවිධ වර්ගයේ චිත්‍රපට කරනවා. අමිත් රවීන්ද්‍රනාත් ෂර්මාගේ මේදාන් සහ බජ්: ද ප්‍රයිඩ් ඔෆ් ඉන්ඩියා වගේ චිත්‍රපට හරිම ආකර්ෂණීයයි. ඔබ චිත්‍රපට පිටපත් දහයක් ගත්තොත් එයින් සුවිශේෂී වන්නේ චිත්‍රපට දෙකයි.

කාජල් සහ ඔබ එක්ව ගෙනෙන නිර්මාණ බොහොම ප්‍රබෝධජනකයි...

රංගන ශිල්පීන් හැටියට අපි තිර රචනය පිළිබඳ බොහොම උනන්දුවෙන් කටයුතු කරන්නේ. තණ්හාජි චිත්‍රපටයේ කාජල්ට තිබුණේ සුළු එහෙත් ඉතා වැදගත් භූමිකාවක්. තණ්හාජිගේ බිරිය සාවිත්‍රි මලුසරේ විදිහට ඇය පෙනී සිටින්නේ දර්ශන හත අටක පමණයි. ඒත් අපට අවශ්‍ය වුණා ඒ චරිතය සඳහා ඉතා සියුම් නිරූපණයන් කළ හැකි ශිල්පිනියක්. අපි විශ්වාස කළා කාජල්ම තමයි මෙයට ගැළපෙන්නේ කියා. ඇයත් චරිතයට බොහොම උනන්දු වුණා වගේම මෙහි කොටස්කාරියක වීමට කැමැති වුණා. දර්ශන තලයේදී සහ නිවසෙදී කාජල්ගේ වෙනස කොයි ආකාරද කියා දැනගන්නයි අප ඊළඟ පැනය යොමු කළේ (සිනාසී) කිසි වෙනසක් නෑ. එකම විදිහයි.

මේ කාලය තුළ කාජල් ගැන දැනුණේ කොහොමද?

අපි දැන් අවුරුදු 20ක යුගදිවියක් ගෙවනවා. කාලයත් සමඟ කෙනෙකුගෙ බැඳීම් මෝරනවා. අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය වෙනවා. ජීවත්වීම පහසු වෙනවා. කාජල් දන්නවා හරියටම මගේ චර්යාව මොනවගේද කියලා. ජීවිතයෙන් මම සොයන්නේ මොනවාද කියලා. එහෙම තමයි මට ඇය ගැන දැනෙන්නේ. අපි දෙන්නා එකතු වුණ එක ගැන දෙන්නම සතුටුයි. ඒ වගේම අපි දෙන්නා දෙන්නගෙ නිදහස රකිනවා. විවාහයකට අවශ්‍ය කරන තුලනය ගෙනෙන්නේ කාලය විසින් හෙමි හෙමීටයි.

කාජල් කාලයත් සමඟ වෙනස් වුණේ කොහොමද?

(සිනාසී) ලොකු වෙනසක් නැහැ. හිටියා වගේමයි. කලින් නම් රසිකයෝ කියයි කාජල් කියනවා කියලා ඒක තමයි විදිහ කියලා. එයා අද වුණත් එහෙම තමයි. එකම වෙනස දැන් ටිකක් මෝරලා. දේවල් වඩා හොඳීන් තේරුම්ගන්නවා. වෙනදාට වඩා හොඳ විදිහට ප්‍රතිචාර දක්වනවා.

දරුවන්ගේ ඉගෙනීම ගැන අජේගේ අදහස මෙබඳුය.

මම මගේ දරුවන් සමඟ බොහෝ වෙලා ගතකරනවා. මට ඕනෙ ඒ ගොල්ලො තමන්ටම සත්‍යවාදී සහ අවංක වන්න. ඒ අය තමන්ටම අවංක වෙනවා නම් අපටත් අවංක වෙයි. මට ඕනෙ ඒ අය තමන්ට වගේම අන් අයටත් ගරුකරන්න. මම ඒ බව හැමදාම ඔවුන්ට කියනවා. එයින් සියලු දේ ආවරණය වෙනවා. ඔබ ඔබටම ගරු කරනවා නම් ඔබ ආත්මගෞරවයකින් යුතුව ජීවත් වෙනවා. ඔබ අන් අයට ගරු කරනවා නම් ඔබ ඔබේ සංස්කෘතිය ගෙනයනවා. එය තමයි මූලික පදනම.

යුග් (පුතා) ඡායාරූපකරණයට බොහොම ළැදියි වගේ. ඔහු ගත් සේයාරූ ඔබේ සමාජ මාධ්‍ය පිටු සරසනවා?

නෑ. එහෙම දෙයක් නැහැ. පුතා තාම පුංචියි. පාපන්දු නම් සෙල්ලම් කරනවා. දුවන පනින සෙල්ලම් කරනවා වගේම පින්තූර ගැනීමෙන් විනෝද වෙනවා. අනෙක් ළමයි වගේම එයත් ඒ දේවල්වලින් හරියට විනෝද වෙනවා. පුතා ලොකු වුණාම එයා කරන්න ඕනෙ මොනවද කියලා එයාටම තීරණය කරන්න පුළුවන් වෙයි.

නයිසා (දුව) ගැන මොකද හිතන්නේ?

එයා දැන් එකොළහේ පන්තියේ. එයාට විකල්ප ගොඩාක් තිබෙනවා තෝරාගන්න. දරුවන්ට කැමැති දෙයක් හැදෑරීමේ නිදහස දිය යුතුයි. ඒත් අපි ඔවුන්ට සුදුසු දේ පිළිබඳ සාකච්ඡා කළ යුතුයි. ඒත් අවසන් තීරණය ඔවුන් සතුයි. ඔබ යමක් අධ්‍යයනය කළොත් ඔබට එහි ප්‍රතිඵල වින්දනය කිරීමේ හැකියාව ලැබෙනවා. ඔබට යමක් කිරීමට බල කළොත් එයින් ඔබ වින්දනයක් හෝ සාර්ථකත්වයක් ලබන්නේ නැහැ.

සිනමා කර්මාන්තයේ මහජන සම්බන්ධතා පිළිබඳ සලකද්දි ඔබ එතරම් අවධානය දිනාගන්න කරදර වෙන්නේ නැහැ?

මම මේ විදිහට තමයි කැමති. මම විශ්වාස කරන්නේ කෙනෙක් යමක් කළාට පස්සේ කට පියාගෙන ඉන්න එක හොඳයි. මිනිස්සුන්ට ඇස් කන් කටවල් තියෙනවානේ. ඒ අයට හැමදේම තේරුම්ගන්න පුළුවන්. කතා කරන එක ඒ අයගෙ කාර්යය මිසක් නිර්මාණය කළ කෙනාගෙ කාර්යය නෙවෙයි. ඇස්වහක් කටවහක් නෑ, රසිකයන් මා එක්ක බොහොම ගෞරවයෙන් කතා කරනවා. මට ඒ ගැන සතුටුයි. වහළවල් උඩ ඉඳගෙන කෑගෑවා කියල ඔබට ලැබෙන දෙයක් නැහැ. අපි ලබන හැමදෙයක්ම බොහොම තාවකාලිකයි. මම තාවකාලික දේවල් ගැන විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. ඒවාට පැවැත්මක් නෑ.

ඔබේ සමාජ මාධ්‍ය තොරතුරුවලින් සැබෑ අජේ දේව්ගන්ව කෙතරම් දුරට හඳුනාගන්නට පුළුවන්ද?

(සිනාසී) කවදාවත් බැරිවෙයි. මගේ ප්‍රතිචාරවල මම ලියන්නේ සමාජ මාධ්‍යවලට ලිවිය යුතු ප්‍රතිචාර විතරයි. ඒත් ඒවා හැමවිටම සත්‍යයයි. උදාහරණයකට මැතිවරණ සමයේ මම ජනතාවගෙන් ඡන්දය පාවිච්චි කරන්න කියලා ඉල්ලා හිටියා. දීවාලි දවසේ හැමෝටම සුබපැතුවා. මොකක් හෝ ඛේදවාචකයක් සිදුවෙනවා නම් ඒ ගැන ලීවා. සමහර වෙලාවට සමාජ මාධ්‍යවල යමක් පළ කළ යුතු බවට පීඩනයක් එල්ල වෙනවා. ඒත් මම ඒවා ගණන් ගන්නේ නැහැ. සමහර වෙලාවට මගේ කණ්ඩායම කියනවා මම යමක් ගැන කිසිම ප්‍රතිචාරයක් දක්වලා නැති නිසා පෝස්ට් එකක් දාමු කියලා. ඒත් කීව පළියට මම එහෙම කරන්නේ නැහැ. මම අද මොකක්ද ඇන්දෙ කියලා හරි මම කැමති පාට මොකක්ද කියලා හරි පෝස්ට් දාන එකේ තේරුම මොකක්ද?

ඔබ බොහොම විහිළුකාරයෙක් කියා දන්නවා. ඒත් සමාජමාධ්‍යවලින් ඒ බව පේන්නේ නැහැ?

ඕ..ව්. අපි හැමෝටම පෞද්ගලිකත්වයක් තියෙනවා. අපි විහිළු තහළු කරන්නේ ඒකට ගැළපෙන අය එක්ක විතරයි. ළඟදි දීවාලිවලට අපේ මුළු පවුලම එකතු වුණා. ඉතින් මම පින්තූරයක් අරගෙන සියකැමැත්තෙන්ම ෂෙයා කළා. ඒත් ඔබට හැමදාම මොකක්හරි පෝස්ට් එකක් දාන්න වුණොත් ඒ පීඩනයට ගොදුරු වෙනවා. ඒකත් එක්තරා ආකාරයක ප්‍රචාරණයක්. ඔබ මොකක් හෝ පෝස්ට් එකක් දැම්මොත් එයට අනිවාර්යයෙන්ම හොඳ සහ නරක ප්‍රතිචාර ලැබෙනවා. මම සත්‍යවාදීව ලියන යමක් ඍණාත්මක ප්‍රතිචාරවලට ආරාධනා කරන්නක් වන්නත් පුළුවන්. හැබැයි මම දන්නවා මම ලියන දේ මට විශ්වාසයි. මම එය වෙනුවෙන් පෙනී සිටිනවා.

ඍණාත්මක දේවලින් ඔබ ඈත්ව සිටින්නේ කොහොමද?

මම ඒ ගැන අවධානයක් දක්වන්නේ නැහැ. කරදර වෙන්නෙත් නැහැ. මගේ ගැන පිළිකුල් සහගත දෙයක් මට කියවන්න ලැබුණොත් මම මගේ ප්‍රචාරක නිලධාරියාට දුරකථන ඇමතුමක් දීලා ඒ ගැන බලන්න කියන්නේ නැහැ. සමහර විට ඔහු ඇවිත් මගෙන් අහනවා. මම කියනවා ඔව් කියෙව්වා කියලා. මාතෘකාව එතනින් හමාරයි. මගේ සැබෑ ජීවිතයේ මම ඍණාත්මක අයගෙන් ඈත්වනවා. වැඩ කරන්න වුණොත් ගාණට තියාගෙන වැඩ කරනවා. වැඩි කතා වැඩි සෙනේ නැහැ.

ඔබට ආපසු ඔබේ චිත්‍රපටයක ප්‍රතිනිර්මාණයක්, රීමේක් එකක් කරන්න වුණොත්?

එහෙනම් ඒ මගේ පළමුවැනි චිත්‍රපටය ඵූල් ඕර් කාන්තේ 1991 කළ එක වේවි. මම ඒක අලුත් විදිහකට ඉදිරිපත් කරන්නේ කොහොමද කියලා හිත හිත ඉන්නේ. මම ඒක කා එක්ක හරි සම නිෂ්පාදනය කරනවා. මම ඒකට අලුත් මුහුණක් හොයනවා. ඒ චිත්‍රපටයේ ප්‍රවේශය වෙනස් වෙයි හැබැයි හැඟීම්, භාවයන් ඒ විදිහමයි. මේ අතර අපි කාජල් ද මුණගැසුණෙමු. ඔබ‌ට මතකද කභි කුෂි කභිගම් චිත්‍රපටයේ කාජල්ගේ පිවිසුම. ඩෝල බෙර නැටුම්, වියවුල්, සතුට, ඒ සියල්ල අතර ඇය සිය විජ්ජාවේ ශක්තිය මුදාහරිමින් දර්ශනය මත විදුලියක් මෙන් පතිත වෙයි. ඇය තම අංගරචනා ශිල්පියා, කළමනාකරු සහ කොණ්ඩමොස්තර ශිල්පියා සමඟ ඉදිරියට එන විට උදාසීනව ගත වූ සවස් යාමය මහත් උද්යෝගයකින් ඇලළී ගියේය. ඇය තවත් සේයා රුවකට සැරසෙයි. ඇගේ කිංකිණි සිනහව මනමත් කරවයි. එයින් ලැබෙන ධනාත්මක පිබිදීම ඇසුරුමක බහා දිනපතා භාවිතයට තබා ගන්නට ඇත්නම් කියා මට සිතෙයි.

කාජල් විහිදාලන්නේ ඇගේ නැවුම් බවේ ගුණයයි. ඇගේ පියවරක් පාසා අපූර්ව සැහැල්ලු බවක් විද්‍යාමාන වෙයි. ඇය වටා නිරායාසයෙන්ම ප්‍රභාවක් පිහිටා ඇතිසේය. ඇය විශේෂයෙන්ම රෝස පැහැයට කැපී පෙනේ. එය ඇය නිතර අඳීන පැහැයක් නොවේ. ඇය වෙන කිසිවකු මෙන් නොවීය. මෝස්තර හෝ විලාසිතා පසුපස හඹා නොයන්නීය. එහෙත් අද ඒ ගැන ඇය බොහෝ විමසිලිමත්ය. කුමක්ද ඒ වෙනස? මගේ පැනයෙන් ඇගේ කොපුල් රත් පැහැ ගැන්වෙයි. "හේතුව තමයි මම ඇත්තෙන්ම සුබපපැතුම් බාර ගැනීම. ඉස්සර නම් මට කවුරුහරි ලස්සනයි කීවට මම ඒක එච්චර විශ්වාස කළේ නැහැ."

මොකක්ද මොකක්ද? මගේ විමතිය ප්‍රකාශ කළෙමි.

"ඇත්ත. මම හිතුවේ රසිකයන් එහෙම කියන්නේ මට සුබපතන්න වෙන විදිහක් දන්නේ නැති නිසා කියලා. ඒත් දැන් ඒ අය එහෙම කීවාම මම විශ්වාස කරනවා. " ඇය සිනාසෙයි. "ඔබ කැඩපතින් දකින දේට ඇලුම් කරන්න පටන්ගත්තාම ඔබ තවත් ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. ඔබට සිවයං ගෞරවයක් ඇති වුණාම, ඔබ ඍජුව නැඟී සිටියාම, විශ්වාසයෙන් යුතුව කතාකරන්න පුළුවන් වුණාම, එය වෙනම ප්‍රතිබිම්භනය වන්නට ගන්නවා ඔබ ඔබ ගැනම පසුබානවාට, හීන පෞරුෂයකින් ඉන්නවාට වඩා. අනෙක් අයට පේන්න ගන්නවා ඔබ කොයිවගේද කියලා" ඇය පැහැදිලි කළාය.

එය ජීවිතයට ආදරය කිරීම පිළිබඳ අමිල පාඩමකි. ඇය දීපක් චොප්රා ගෙන හැර නොපා ඇගේ ජීවිතයෙන්ම උදාහරණ ගත්තාය. මා ඇය වැඩිය හඳුනන්නේ නැති වුවද මට ඈ කෙරෙන් මගේ මිතුරියන් හමුවිය. මගේ වෘත්තීය සගයන් ඈ තුළ විය. කාජල් මා දුටු තරු ලෝකයේ සැබෑ තාරකාවය. ඒ සුපිරිතරුව මෙන්ම බොහෝ සන්නාමවල පෙනෙන වෙස්මුහුණ පිටුපස ඇය මූලික වටිනාකම් අමතක නොකළ ගැහැනියක් විය.

"මම හිතන්නේ ඒක මගේ අම්මා දිහා බලාගෙන ඉඳීමෙන් ලැබුණු දෙයක්. අම්මා කෙතරම් වටිනා සාරියක් ඇන්දත්, සියමන්තිවලින් සැරසුණත්, මුහුණේ ආලේපන

යෙදුවත්.. ඇය පළමුවෙන්ම මගෙ අම්මා. ඇගේ ඒ මුඛ්‍යාර්ථය කවදාවත් වෙනස් වුණේ නැහැ." ඇය තවදුරටත් පැහැදිලි කරයි.

"මගේ ජීවිතේ ආදර්ශ තියෙනවා නම් ඒ මගේ අම්මා සහ ආච්චි (නැසී ගිය ශොබ්නා සමර්ත්). මම ඒ දෙන්නම බොහෝ දුෂ්කර කාල පසුකරනවා දැක තිබෙනවා. පෞද්ගලික ජීවිතේ, වෘත්තිය ජීවිතේ වගේම මූල්‍යමය වශයෙන්. එහෙත් ඔවුන් මිනිසුන් ලෙස ඒ අයුරින්ම පැවතුණා. ඒ දේ තමයි මමත් හැම විටම පවත්වාගෙන යන්නේ. ජනතාව අපෙන් බලාපොරොත්තු වෙනවා කියලා වෙනම චරිතයක් හෝ වෙනම ගතිපැවැත්මක් ගෙන යන්න අවශ්‍ය නෑ"

මේ සියල්ල අතර කෙනෙකුට ඇගේ මේ රූප සම්පත්තිය ලැබුණේ කොහොමද යන්න ගැන දැනගන්නටත් කැමැත්තක් ඇති.

"මම පොඩිකාලේ ඉඳන්මත් තරමක ආත්ම විශ්වාසයක් තිබෙන කෙනෙක්. ඒත් රූපලාවණ්‍ය, හැඩවැඩ වගේම මෝස්තර ගැන මම ඒ තරම් තැකුවේ නැහැ. මම විශ්වාස කළා මම සාමාන්‍ය පෙනුමක් තිබෙන කෙනෙක් කියලා. ඒත් ඒ කාලේ මම ඉතා උනන්දුයි... සුපිරි දක්ෂයෙක්... ඒත් මගේ දිහා කාටවත් බලන්න වුවමනාවක් නැත්තේ ඇයි? එක අතකින් ඒක මහන්තත්තකමේ අනෙක් පසට ගමන් කිරීමක් වගේ." ඇය සිනාසෙන්නේ මේ අපක්ෂපාතී නිරීක්ෂණය තමන්ම කළා මෙනි. නයිසා දියණිය බිහිකළ පසු ඇය තම මනස්කාන්ත රුව වෙනුවෙන් කළ කී දෑ සිහි කළාය. සමහර විට මම ඒ කාලේ වැඩක් නොකළ නිසා මට කාලවේලාව ඕනෑතරම් තිබුණා. මම වසර දෙකක විරාමකට පස්සේ 105 වැනි වතාවට මගේ ප්‍රති ආගමනය සිදුවුණා." ඇය මෙසේ කියද්දි ඇගේ හඬ සිනාවකින් වෙලිණි.

"මම හිතන හැටියට මට තමයි වැඩිම ආපසුපැමිණි වාර ගණනක් තිබෙන්නේ. මගේ අන්තිම චිත්‍රපටයෙන් මාස දෙකකට පස්සේ එකක් ආවත් කියන්නේ කාජල්ගේ පුනරාගමනය කියලා. එහෙම ගත්තාම මම කරලා තියෙන්නේ පුනරාගමනය කරන එක විතරයි. ඇය බැරෑරුම්ව පවසයි.

"දරුවකු ලැබුණාම අපේ මුළු ජීවන යථාර්ථයම වෙනස් වෙනවා. අපි මිනිස්සු දිහා වෙනස් විදිහට බලන්න ගන්නවා. අපේ ප්‍රමුඛතා මාරුවෙනවා. ආරක්ෂාව ගැන හැඟීමක් දැනෙන්න ගන්නවා.

මම දවසක් කණ්ණාඩියෙන් මාවම දැක්කාම මටම කියැවුණා ' මට හොඳ පෙනුමක් තිබෙනවා. මම ලස්සනයි, මම මට ආදරෙයි.' ඊට පස්සේ මම මෝස්තර සහ ඇඳුම් ආදිය ගැන හිතන්න පටන්ගත්තා. මට දැනුණා සාමාන්‍ය දැනීම පිළිබඳ අබමල් රේණුවක දැනීමක් නැති අයත් හොඳ රැකියා කරගෙන යනවා. ඒක මහලොකු දැනුමක් වෙන්න බැහැ. මම මටම කීවා ඔයා හරි බුද්ධිමත්. එය අපහසු දෙයක් නොවේ. මම විද්‍යාත්මකව එය ආරම්භ කළා."

කාජල් ඉලක්ක කරා යන චරිතයක් බව බොහෝ දෙනාගේ මතයයි.

"මම කියන්නේ නැහැ මම පරිත්‍යාගශීලී නැහැ කියලා මම කියන්නේ නැහැ. ඒත් මගේ මුදල් වියදම් කරන විදිහ පිළිබිඳ මම අරපරෙස්සම්." ඇය පවසන්නේ දුවගෙත් පුතු‌ගේත් වියදම් රටාවන් පිළිබඳය. දරුවන් දෙදෙනා කොයිවෙලාවේ එළීයට ආවාත් මම අහන්නේ ඔවුන්ගෙන් හිජාබය ගැනයි. ඒ අයට ඒකට තරහක් ආවාත් දවස අවසානයේ කොහොම හරි මට ගිනුම් පියවන්න ඕනැ. එය ඔවුන්ට මුදල්වල වටිනාකම තේරුම්ගන්න ඉතා වැදගත්වනවා." ඇය පැහැදිලි කළාය.

සෑම තරු දරුවකු සේම මොවුන් දෙදෙනාද එළියට බට මොහොතේ සිට පැපරාසීන්ගේ කාචයට නිදහසක් නැත. "මම ඒ දෙන්නට කියනවා අම්මගෙයි තාත්තගෙයි රැකියාව නිසා තමයි ඔය තරම් ඉහළින් ඔවුන් ඉන්නේ. ඒ නිසා මේ දේවලුත් බාරගන්න කියලා."

දිවා ආහාරය එළැඹිණ. ඇය බිත්තර සහ කොළ පැහැති එළවළු පමණක් ආහාරයට ගත්තිය. ඒ පිළිබඳ සංඛ්‍යාලේඛනද සහිතව තර්ක කරන ඇය පිෂ්ඨ සහ මේද ගැනද දැඩි සේ කරුණු දැක්වීය. රේණුකා ෂහනෙස්ගේ නෙට්ෆ්ලික්ස් සිනමා පටය වන ත්‍රිභංග හි ඇගේ සිහින් සිරුරට හේතුව නිසැකයෙන්ම මේ ආහාර වන්නට ඇත.

සාකච්ඡාව සිනමාවේ ඩිජිටල් පරිනාමය අතට හැරුණි. 2020 කාජල්ගේ ප්‍රථම ර්‍ණඊඊ සිනමාකරණය පමණක් නොව කෙටි චිත්‍රපටද බලාපොරොත්තුවෙන් සිටී. ඒ වෙනස දෝතින්ම ගන්නා ඇය මෙසේ පවසයි.

"මේ මාධ්‍යයන් සංවර්ධනය වීම ගැන මට සන්තෝෂයි. අපි ජීවත්වන්නේ ඩිජිටල් යුගයේ. රංගන ශිල්පියකුට මෙය හොඳම කාලයක්. වැඩි තෝරාගැනීමක් සහ වැඩි ප්‍රේක්ෂකාගාරයක් තිබෙනවා. ඓතිහාසික කතා විශාල වශයෙන් නිපදවෙන කාලයේ කාජල් ද තණ්හාජි සමඟ රිදී තිරය හැඩ කරනු ඇත. ඇය සිය සැමියා අජේ දේව්ගන් සමඟ ඔවුන්ගේම නිෂ්පාදනායතනය මඟින් එළිදක්වන මේ චිත්‍රපටයට සහාය දෙන්නීය. ඇය සුබේදාර් තණ්හාජිගේ බිරිය සාවිත්‍රි මලුසාරේගේ චරිතය වැනි ඓතිහාසික චරිතයක් රඟපෑම පිළිබඳ තිගැස්මක් දක්වන්නේ එහි ඇගේ ස්වරූපය නිසාය. "මිකී මගේ අංගරචනය කළ අතර නිචිකේට් මගේ ඇඳුම් නිර්මාණය කළා. ඒ චරිතය සම්පූර්ණ වෙනස් භූමිකාවක් වගේම හරිම විනෝදජනකව අපි එය කළා. මට මාවම අදහාගන්න බැරි වුණා. මගෙ දෙවියනේ මිකී, මාව හරිම ලස්සනට හැඩගන්වලා තිබුණා." ඇය සිනාසෙයි.

ඇය සිය සැමියා අජේ දේව්ගන් පිළිබඳ වර්ණනා කරයි. ඇය විශ්වාස කරන අන්දමට ඔහු මැවී ඇත්තේ සුපිරි නළුවකු හා නිෂ්පාදකයකු යන කාර්යයන් දෙකම එකසේ කිරීම සඳහාය. කෙසේ වෙතත් ඇය පවසන්නේ ඔහු වඩාත් හොඳ අධ්‍යක්ෂවරයකු ලෙසය. "නිෂ්පාදකයකු හැටියට ඔහු සුපිරි ලෙස සංවිධානය වී සිටිනවා. අධ්‍යක්ෂවරයකු ලෙස ඔහු විශිෂ්ටයි. ඔහු මා දැක ඇති හොඳම අධ්‍යක්ෂවරුන්ගෙන් කෙනෙක්. මම ඔහුට කියනවා නිතර නිෂ්පාදක බර වෙනකෙනකු‌‌ට දීලා නිර්මාණාත්මක පැත්ත විඳීන්න ටික කලකට හරි කියලා"

බොලිවුඩයේ මිතුදම් බොහෝ උච්ඡාවචනය වෙයි. එහෙත් කාජල් තම කුඩා මිත්‍ර සංගමය බොහෝ උනන්දුවෙන් රැකගෙන තිබේ. "මම අවංකවම ඔවුන්ට ආදරෙයි. පසුගිය වසර 10-15 අතර මේ තරම් සාර්ථකව කර්මාන්තයට පිවිසුණු අය කවුද කියලා මම දන්නේ නැහැ. මම ඒ තරම් චැට් කරන, එකිනෙකාට කෙටි පණිවිඩ යවන ජාතියේ කෙනෙකුත් නෙවෙයි. ඒ නිසා මම ඒ අයව හොඳීන් අඳුනන්නෙත් නැහැ. ඒත් අනෙක් අය අතර ලොලො (කරිෂ්මා කපූර්), රවීනා (තන්ඩන්), වගේම මගේ වීරයෝ, ආක්ෂේ(කුමාර්), අමීර් (ඛාන්), සයිෆ් (අලි ඛාන්) ඉන්නවා. කොයිවෙලාවේ හරි ඒ අය හමු වුණාම කොහොමද? කින්ද මන්ද ? කියලා අහන සුපුරුදු හැඟිම තිබෙනවා. අපි සමාජ මාධ්‍ය ඔස්සේ ඒ තරම් කතා බහ නොකරන එකේ තේරුම අපි යාළුවෝ නෙවෙයි කියන එක නෙවේ."

කෙසේ වෙතත් එක් මිත්‍රසන්ධානයක් ඒ අතර තරමක් රළු විය. කරන් ජොහාර් පිළිබඳ අප කතාකරන විට ඇය සිනාසුණාය.

"ඕ...ව්. එයා හදිසියේම අතුරුදන් වුණානේ. එයා පොඩි විවේකයක් ගන්න ඇති. දැන් ආයෙත් ඇවිත්" සිනාසී තවත් යමක් එක් කරයි. " ඒක මහා එපාකරපු කාලයක්. ඉන්න හොඳ තැනක් නෙවෙයි. මට විශ්වාසයි එයාටත් එහෙම දැනෙන්න ඇති. මම තිස්සෙම දැනගෙන හිටියා ඒක කාලයේ ප්‍රශ්නයක් කියලා. ඒවා විසඳීලා යයි. මොනවා වුණත් අපි දේවල් හඳුනාගන්න ඕනා. අපේ ජීවිතයට ඉදිරියක් තිබෙනවා. මේක ඒ අතර පොඩි අවස්ථාවක් විතරයි. මේ වෙද්දි ඒක යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා."ඇය සෙනෙහසින් කියයි.

"මට ඔහු දැන් වැඩිය මුණ ගැහෙන්නෙ නැහැ. මොකද එයත් හරියට ඇවිදිනවා, වැඩ කරනවා. මාත් එහෙමයි."

සිනමාරුගේ මෝස්තර දැනුම පිළිබඳවද මේ රංගන ශිල්පිණිය උනන්දුවක් දැක්වූවාය. විශේෂයෙන් මෑතක පැලඳී කුර්කි සපත්තු ජෝඩුව පිළිබඳවය ඒ.

කබි කුෂි කබි ගම් ඇගේ බ්ලොක්බස්ටර් චිත්‍රපටයේ මෙන්ම ඇගේ ජීවිතයේද රසවත් සහ නීරස අවස්ථා මතුවිය. ඇය දැඩි සේ කම්පා වූ අවස්ථා දෙකකි. එකක් ඇගේ මව තනුජාගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වයයි. අනෙක ඇගේ මාමණ්ඩිය වන සටන් අධ්‍යක්ෂ වීරු දේව්ගන්ගේ අභාවයයි. කාජල් සිය මාමණ්ඩියට බෙහෙවින් සමීප වී සිටි නිසා එය ඇයට මහත් දුකක් ගෙනාවේය. ඒ අවස්ථා සිහි කරන විට ඇය මදක් නොසෙල්වී සිටියාය. "පවුලේ සාමාජිකයෙක් නැති වුණාම හැම තැනම ලොකු පාළුවක් දැනෙන්න ගන්නවා. ගෙදර, ජීවිතේ, හැමෝටම ඒ පාළුව නිතර දැනෙනවා. අම්මා ලෙඩ වුණු වෙලාවේ වගේම අජේගේ තාත්තා නැති වුණු වෙලාවේ හරිම භයානක කාලයක්. ඒත් ඒගොල්ලො කියනවා වගේ ඒවාත් ගෙවාගත යුතුයි."දොරට තට්ටු කරන හඬකි. ඇගේ ඊළඟ සේයාරුවට වෙලාවයි. ඇය වෙන්වන්නට පෙර බොහෝ සෙනෙහසින් මා වැලඳගත්තාය. එය කලාව හෝ හෘදයාගම බව වෙනුවෙන් වුවද කාජල්ගේ උද්යෝගපාඨය වුයේ සමබර බවයි.

 

ෆිල්ම් ෆෙයාර් සඟරාවෙනි...