පෙබරවාරි මාසෙට චිත්‍රපට පහක්

පෙබරවාරි 6, 2020
ඊතලය

 

ඉතා දිගු කලකට පසු එක මසක් තුළදී සිනමාපට පහක් තිරගතවීමේ විරළ අවස්ථාවක් මෙම මස දී උදාවීමට නියමිතය. ඒ අනුව නිම්හිම්, ද හෝන්, සුපර්ණා, සේද මාවතේ සහ ඊතලය යන සිනමාපට තිරගත වනු ඇත. මේවා අතරින් පළමුව තිරගත වන්නේ මිචෙල් ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ නිම්හිම් සිනමාපටයයි. එය මෙම මස 06 වැනිදා සිට එම්. පී. අයි. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගතවීමට නියමිතය. මිලින්ද මඩුගල්ල, ගංගු රොෂානා ප්‍රධාන චරිත මවන නිම්හිම් සිනමාපටය මිචෙල් ෆොන්සේකා ගයාන් ගුණවර්ධන, සමන් ධර්මවංශ, ප්‍රින්ස් වික්‍රමනායක, ප්‍රදීප් හේරත් සහ ඉන්දික මඩවලගේ නිෂ්පාදනයකි. නිම්හිම් තිරගත වනදාට පහුවැනිදා එනම් පෙබරවාරි 07 වැනිදා ද හෝන් තිරයට එයි. ඒ සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හිදීය. සමීර වක්වැල්ල නිර්මාණය කළ ද හෝන් සිනමාපටයේ ටීනා ශනෙල්, රොෂාන් පිලපිටිය, ක්‍රිස්ටින් ගුණවර්ධන ආදීහු රංගනයේ යෙදෙති. මෙය දීපිකා කළුආරච්චිගේ නිෂ්පාදනයකි. ආදරවන්තයින්ගේ දිනය දා එනම් පෙබරවාරි 14 වැනිදා සුජීව ප්‍රියාල් යද්දෙහිගේ අධ්‍යක්ෂණය කළ සුපර්ණා සිනමාපටය තිරගත වේ.

රිද්මා මණ්ඩලයේ සිනමා ශාලාවන්ට පැමිණෙන සුපර්ණා සිනමාපටයහි වීණා ජයකොඩි, දුලීකා මාරපන, ජනක ප්‍රේමලාල්, ඩිනක්ෂි ප්‍රියසාද්, අශාන් ඩයස්, දර්ශන් ධර්මරාජ් ඇතුළු පිරිස රංගනයේ යෙදෙති. මෙය කල්‍යාණි රණවකගේ නිෂ්පාදනයකි. හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කළ සේද මාවතේ තිරගත වන්නේ මෙම මස 20 වැනිදාය. ඒ එල්. එෆ්. ඩී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හිදීය. අනුජ් රණසිංහ සහ හර්ෂි අංජුමාලා එහි ප්‍රධාන චරිත රංගනයේ යෙදෙති. නිශාන්ත ජයවර්ධන අනුජ් රණසිංහ සේද මාවතේ නිෂ්පාදකවරුන්ය.

කැලුම් ආර්යන් කුලරත්න ප්‍රධාන චරිතය රඟන ඊතලය මෙම මස 28 වැනිදා සිට එම්. පී. අයි. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වේ. නාලක විතානගේ නිර්මාණය කළ ඊතලය සිනමාපටයේ කැලුම් සමඟ චමත්කා ලක්මිණි, ශෙහානි පෙරේරා, රෙක්ස් කොඩිප්පිලි ආදීහු රංගනයේ යෙදෙති.

 

 

 

 

නිම්හිම්

 

 

සේද මාවතේ

 

 

සුපර්ණා

 

 

ද හෝන්