බේස් ගිටාරයට පෙම් බැඳි ගයාන් මලින්ත අධිකාරී

පෙබරවාරි 13, 2020

පරිපූර්ණ සංගීත කණ්ඩාටමකට බේස් ගිටාර් වාදකයකුගෙන් ලැබෙන්නේ අනගි සහායකි. ඔවුන් වාදනය කරනා ගීත හෝ වේවා සංගීතයන් හෝ වේවා මනාව පරිපූර්ණය කරනුයේ බේස් ගිටාරයේ හඬිනි. දක්ෂ බේස් ගිටාර් වාදකයෝ සිටින්නේ ද අතළෙස්සකි. ඒ බහුතරයකට ඒ වාදන භාණ්ඩය නියමාකාරව වාදනය කිරීමට නොහැකි වීම නිසාය. ගයාන් මලින්ත අධිකාරි බේස් ගිටාර් වාදකයෙකි. ඔහු හා බේස් ගිටාරය අතර බැඳීම ගහට පොත්ත මෙන්ය. ගයාන් මලින්ත කියනවාට වඩා ඔබ ඔහු වඩාත් හඳුනන්නේ ගන්ස් රෝසස් නමිනි. අන්තර්ජාලය තුළ ඉමහත් වූ ජනප්‍රියත්වයක් හිමි කරගත් ගන්ස් රෝසස් වෘත්තීමය බේස් ගිටාර් වාදකයෙකි. මීරිගම ඩී. එස්. සේනානායක විදුහලෙන් අධ්‍යාපනය හැදෑරූ ගයාන් පාසල් වියේ සංගීතයට එතරම් උනන්දුවක් නොදැක් වූ අයෙකි. අහම්බෙන් බේස් ගිටාරයක් අතපත ගානා ඔහු එය වාදනය කිරීමට උත්සාහ ගනියි. එය ගයාන්ට ගැළපෙන වාද්‍ය භාණ්ඩයක් බවට පසක්වීමෙන් අනතුරුව ඔහු බේස් ගිටාරය වාදනය කිරීම ඉගෙන ගනියි. ජනප්‍රිය ගිටාර් වාද්‍ය ශිල්පී සුදත් නාවලගේ ගේ මඟ පෙන්වීමෙන් වේයන්ගොඩ සියාරා සංගීත කණ්ඩායමට එකතු වන ගයාන් දිගින් දිගටම බේස් ගිටාර් වාදකයකු ලෙස කටයුතු කරයි. ඔහු අන්තර්ජාලයට තමන්ගේ වීඩියෝවක් එක් කරනුයේ ඔය අතරය. එතැන් පටන් නොසිතූ විරූ අන්දමින් ජනප්‍රිය වන ගන්ස් රෝසස් සොයා සතර අතින් දුරකතන ඇමතුම් ගලා එයි. ඉදිරියේදී ගායකයකු වශයෙන් ද කල එළියට පැමිණීමට ගන්ස් රෝසස් සූදානම් වේ. ඔහු තමන්ටම ආවේණික අන්දමින් බේස් ගිටාරය වයනා රූප රචනා කිහිපයක්ම අන්තර්ජාලයේ තිබේ. ගන්ස් රෝසස් යනුවෙන් ටයිප් කොට ගූගල් හෝ ෆේස්බුක් හරහා ඒවා රස විඳිය හැකිය.

ගයාන් ගෞරව සම්මානයකින් ද පිදුම් ලැබීය. ඒ හෙළ අභිමානි සම්මානයයි. කලාගීත්රූ කලා පදනම සහ අතුරුගිරිය ප්‍රජා පොලිස් ඒකකය මඟින් සංවිධානය කළ විශේෂ උත්සවයකදී ඔහු එකී සම්මානය ලබා ගත්තේය.

ප්‍රසාද් 
ටෙනී

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.