රවීන්ද්‍ර රන්දෙණිය රන්මිහිතැන්නට

පෙබරවාරි 13, 2020

ප්‍රවීණ රංගධර ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය රන්මිහිතැන්න ටෙලි ගම්මානයේ සභාපති ලෙසට පත් කරනු ලැබිය. උසස් අධ්‍යාපන තාක්ෂණ නවෝත්පාදන තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් එම පත්වීමේ ලිපිය ඉකුත් දා ඔහුට බාර දුන්නේය. ක්ෂේත්‍රය පිළිබඳ දශක ගණනාවක හසළ දැනුමැති ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය මෙරට සිනමාවේ අද්විතීය රංගන ශිල්පියෙකි. ප්‍රවීණ විචාරක ගාමිණී වේරගම සූරීන්ගේ දේශීය සිනමා වංශයේ ද්විතීය කාණ්ඩය ග්‍රන්ථයේ පිදුම රවීන්ද්‍රට වෙන් කොට තිබුණේ එකී විශිෂ්ටත්වය නිසාවෙනි. එහි රවීන්ද්‍ර පිළිබඳ මෙසේ සඳහන් කොට තිබිණ.

“රංගනය විද්‍යාත්මකව හැදෑරීමෙන් ලත් පන්නරය චරිත ප්‍රතිනිර්මාණය සඳහා වූ අසීමාන්තික කැපවීමත් නිරන්තර අභ්‍යාසයත් ජීවිතය හා සමාජය පිළිබඳ සියුම් දක්මක් මඟින් උතුරා යන රංග ප්‍රතිභාව පෝෂණය කරමින් ඔබ මෙරට සිනමා වංශයට අමරණීය චරිත සමූහයක් දායාද කළේය. බටහිර සිනමාවේ කෝප ගත් තරුණයා සංකල්පය 1970 දශකයේදී මෙරට සිනමාවට හඳුන්වාදීමේ පුරෝගාමියා වූ ඔබ එමඟින් ඔබටම අනන්‍ය රූපණ රීතියක් ද සකසා ගත්තේය. බොහෝ සිනමා කෘතිවල ඔබ රූපණය කළ චරිත රූපණ වංශයේ සන්ධිස්ථාන බවට පත්ව අවසන්ය. ගැඹුරු, සංකීර්ණ මමෝභාවයන්ගෙන් යුත් චරිත මෙන්ම ප්‍රතිවීර චරිත සරල සෙල්ලක්කාර පෙම්වතාගේ චරිතය ද එක හා සමාන රංග පෞරුෂයෙන් රූපණය ඔබට අරුමයක් නොවීය. දීර්ඝ කාලයක් ඔබ අසීමිත කැපවීමකින් ප්‍රතිනිර්මාණය කළ චරිත වර්තමානය වන විට රංගනය පිළිබඳ අත්පොත් බවට පත්ව තිබේ. මේ ප්‍රශස්ත රූප හා සමඟ ඔබ මෙරට සිනමාවේ ප්‍රධාන භූමිකා නිරූපණය කළ මහා රූපණවේදීන් පස් දෙනා අතරට නිරායාසයෙන් එක්ව සිටී. සිනමා රූපණ වංශය එහි ඉහළම ලක්ෂ්‍යයක් දක්වා වර්ධනය කිරීමට මුළුමහත් ජීවිත කාලය පුරා දැක් වූ දායකත්වය හා අනුපමය සේවාව අගයමින් රවීන්ද්‍ර රන්දෙණිය මහා රූපණවේදියාණෙනි මෙම ග්‍රන්ථය ඔබට කෘතඥතා පූර්වකව පිළිගන්වමි.”

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.