විජය වෙනුවෙන් උපහාර රැසක්

පෙබරවාරි 13, 2020

පෙබරවාරි 16 වැනිදාට යෙදෙන විජය කුමාරතුංගයන්ගේ ගුණානුස්මරණය නිමිති කර ගනිමින් සංවිධානය කළ සල්සපුනා ගී ප්‍රසංගය එදින සවස මරදාන ටවර් රංග ශාලාවේදී පැවැත්වේ. ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය, ප්‍රියංකර පෙරේරා, කීර්ති පැස්කුවල්, අමිලා නදීශානි, සුප්‍රියා අබේසේකර, ලලිත් පොන්නම්පෙරුම, කමල් අද්දරආරච්චි, උද්දික ප්‍රේමරත්න, උදේශ් ඉන්දුල, අමිල අබේසේකර, දිනේෂ් ප්‍රියසාද්, ඩිනක්ෂි පි‍්‍රයසාද්, සාරංග දිසාසේකර, විශ්ව කොඩිකාර සහ උපසේන සුබසිංහ (පාල) යන කලාකරුවෝ ගැයුමෙන් සහ රැඟුමෙන් මෙයට දායක වෙති. තිළිණ තුෂාර සංගීතය මෙහෙයවයි. කැළුම් ශ්‍රීමාල් නිවේදනයෙන් එකතු වේ. මේ ප්‍රසංගය බොරැල්ල ශ්‍රී රාහුල කලා සංගමයේ සංවිධානයකි.

පෙබරවාරි 16 වැනිදා කොළඹ මහජන පුස්තකාලයීය ශ්‍රවණාගාරයේදී විජය කුමාරතුංග අනුස්මරණ උලෙළක් ද පැවැත්වේ. රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල, සුමිත් විජයමුණි සොයිසා, උපුල් රාජිත, අජිත් බස්නායක යන මහත්වරුන් මෙයට සහභාගි වීමට නියමිතය. මහේෂ් කුමාරසිංහ ප්‍රමුඛ දිවිසර සංස්කෘතික පදනම මඟින් මෙය සංවිධානය කොට තිබේ.

අනුර ශ්‍රීනාත් සභාපති ධුරය හොබවන විජය කුමාරතුංග අනුස්මරණ සංස්කෘතික පදනම මඟින් වාර්ෂිකව සංවිධානය කරන විජය ගී තරුව 2020 විජය උපහාර ගී ප්‍රසංගය හා සම්මාන ප්‍රදාමෝත්සවය මෙම මස 17 වැනිදා කුමාරතුංග මැදිරියේදී පැවැත්වේ. ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතා මෙහි මුලසුන හොබවනු ඇත. මෙම උත්සවය අතරතුරදී ශ්‍රියාණි අමරසේන, ටෙඩී විද්‍යාලංකාර, චන්දි රසිකා, ටෝනි හසන්, නැසීගිය උපාලි අත්තනායක සහ නැසීගිය එච්. එම්. ජයවර්ධන යන කලාකරුවන්ට උපහාර සම්මානද පිදුම් ලැබීමට නියමිතය.

නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානයට ආධාර පිණිස පිටිගල ආරච්චිගේ ගාමිණි විසින් සංවිධානය කෙරෙන 'සිහිනයේ කුමරා' විජය කුමාරතුංග උපහාර ගී ප්‍රසංගය පෙබරවාරි 16 වැනිදා කළුතර පුරහලේදී පැවැත්වේ.

Add new comment