දෙව්ලොව ගිය විචාරකයා

පෙබරවාරි 13, 2020

ජයන්ත චන්ද්‍රසිරි කියන්නේ අපට ඉන්න ප්‍රවීණතම අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම ඔහු විද්වතෙක් ලෙසටත් හඳුන්වා දෙන්න පුළුවන්. මේ හින්දම ජයන්තට නිරන්තරයෙන් දෙසුම් සඳහා ඇරැයුම් ලැබෙනවා. ඉකුත් දිනයකදී ඔහුට එවන් වූ සභාවක් අමතන්න වුණා. හරියටම ප්‍රවීණ විචාරක ගාමිණී වේරගමගේ දේශීය සිනමා වංශය ද්විතීය කාණ්ඩය ග්‍රන්ථය එළිදැක්වුණුදා තමයි ජයන්ත මේ දෙසුම පැවැත් වූයේ. එහිදී ජයන්ත බොහොම වැදගත් කතාවක් කිව්වා. ඒ විචාරකයකුගේ වටිනාකම පිළිබඳ. ඔහු පැවසූ කතාව සැකෙවින් මෙන්න මෙහෙමයි.

පුද්ගලයින් තිදෙනෙකු දිව්‍යලෝකේ ගිහින් දොරටුව අසල ඉන්නවා. එතැන ඉඳලා ප්‍රධාන දෙවියෝ වැඩ සිටින තැනට ටිකක් දුරයි. ඒ නිසා දෙවියෝ වාහනයක් එවනවා රියදුරෙකු එක්ක මේ අයව ගෙන යන්න. හැබැයි වාහනයේ යන්න පුළුවන් අමුත්තන් දෙදෙනෙකුට විතරයි. රියදුරාට මේක හරිම ගැටලුවක්. ඔහු අර තිදෙනාගෙන් ප්‍රශ්න කළා.

ඔබ කවුද?

මං නිර්මාණකරුවෙක්.

පළමුවැන්නා කිව්වා. රියදුරා දෙවැන්නා දෙසට හැරුණා.

එතකොට ඔබ?

මං රසිකයෙක්.

ඔහු කිව්වා. රියදුරා ඊළඟට නැවතුණේ තෙවැන්නා ගාව.

ඔබ මොකද කරන්නේ?

මං විචාරකයෙක්.

රියැදුරාට කලින් තිදෙනාගේ තත්ත්වයන් තේරුණත් විචාරකයා කියන්නේ කවුද කියලා වැටහුණේ නැහැ. ඒ හින්දා රියදුරා නිර්මාණකරුත් රසිකයාත් නංවාගෙන දෙවියො ගාවට ඇරලුවා. මහ දෙවියෝ නිර්මාණකරුවගෙන් මෙහෙම අහනවා.

දැන් තමුන් කරන නිර්මාණ රසිකයාට තේරෙනවද?

මං දන්නේ නැහැ. හැබැයි මං නිර්මාණ කරනවා.

දෙවියෝ රසිකයාගෙන් ඊළඟට ඇහැව්වේ නිර්මාණකරුවා කරන දේවල් රසිකයාට තේරෙනවද කියලා.

මං හරියට දන්නෙ නැහැ. සමහර නිර්මාණ නොතේරුණාට මං ඒවා රස විඳිනවා. මහ දෙවියන්ට දැනුණා අඩුවක්. මේ දෙදෙනාට අමතරව තවත් කෙනෙකු සිටියද කියා රියදුරු දෙවියාගෙන් මහ දෙවියෝ විමසුවා. තවත් කෙනෙක් හිටියා කියලා රියදුරු කියනවා. දෙවියෝ වහාම ඔහු ගෙන්වනවා. ගෙන්වලා ඔහුගේ කාර්යය කුමක් ද කියා අහනවා. විචාරකයා මෙන්න මෙහෙම පිළිතුරු දෙනවා.

මං විචාරකයෙක්. මම නිර්මාණකරුවාගේ නිර්මාණ රසිකයන්ට තේරුම් කර දෙනවා. නිර්මාණකරුවෙකුගේ කොටසකුත් මගේ ඇඟේ තියෙනවා. රසිකයාගේ කොටසකුත් මං ගාව තියෙනවා. දෙගොල්ලගෙන් භාගෙ භාගෙ එකතුවෙලා තමයි විචාරකයා හැදිලා තියෙන්නේ.

 

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
19 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.