බාලගිරි වැලඳුණු බොලිවුඩ් නිර්මාණය

පෙබරවාරි 27, 2020

රාකේෂ් ශර්මාගේ ජීවිත කතාව ඇසුරෙන් සිද්ධාර්ත් රෝයි කපූර් නිෂ්පාදනය කරන නවතම චිත්‍රපටය දිනෙන් දින කල් යන බවත් පසුගිය කාලයේ බොලිවුඩ් පුවත් ගෙන ආවා. රාකේෂ් ශර්මා යනු අභ්‍යවකාශයට ගිය පළමු ඉන්දියානුවා වේ. ඔහුගේ චරිතයට බොලිවුඩයේ කිං ඛාන් පණ පෙවීමට නියමිත බව මුල් ආරංචි ගෙන‍ ආවා. කෙටි කලකින් එම චරිතයට විකී කෞෂාල් වෙත ආරාධනා කර ඇති බවත් වාර්තා වුණා. ඔහු ගිවිසුම් අත්සන් කළ බවට කතා පැතිර ගියත් එහි සත්‍යතාවයක් පෙනුණේ නැහැ. අමීර් ඛාන් වෙතටත් රාකේෂ්ගේ චරිතයට ආරාධනා කර තිබුණා.පසුගිය කාලයේ පුවත් ගෙන ආවේ මේ චරිතය ජනප්‍රිය නළුවන් විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු නොකෙරෙනු ඇති බවයි. දැන් යළිත් මෙම චිත්‍රපටය ගැන කතා කරන්න පටන් අරන්. ඒ සල්මන්ගේ නම සමඟින්. එනම් සල්මන් ඛාන් වෙත රාකේෂ් ශර්මාගේ චරිතය වෙනුවෙන් ආරාධනා කර ඇති බවයි. එය දැවැන්ත සිනමා නිර්මාණයක් හේතුවෙන් සල්මන් වෙත ආරාධනා කළ බවත් වැඩිදුරටත් සඳහන්. මේ වන විට සල්මන් වෙත චිත්‍රපටයේ පිටපත ලබා දී තිබුණ ද චරිතය භාරගත් බවට ඔහු විසින් තහවුරු කර නැහැ. දිනෙන් දින කල් ගිය රාකේෂ් ශර්මාගේ චිත්‍රපටය මේ වන විට Saare Jahan Se Achcha ලෙසින් නම් කර තිබෙනවා.

යතේජා ඥානරත්න