අමීර් ආයෙත් වෙනස්

මාර්තු 5, 2020

තිස්දෙවසරක සිනමා දිවියේ අමීර් ඛාන් රසික රසිකාවන්ට අමතක නොවන චරිත රැසක් ගෙන ආ නළුවෙක්. මෑතකදී ඔහු අපට දකින්න ලැබුණේ Thugs of Hindostan චිත්‍රපටයේ ඉංග්‍රීසි පාලන සමයේ ඉන්දීය නිලධාරියකු ලෙසින්. ඊට පෙර Danga චිත්‍රපටය වෙනුවෙන් ඔහු විශාල කැප කිරීමක් සිදු කළා. මීළඟට ඔහු දකින්න ලැබෙන්නේ ලාල් සිං චද්ධා ලෙසින්. ඒ වෙනුවෙන් අමීර් මෙවරත් තම පෙනුම වෙනස් කර ගැනීමට කැප වී ඇති බවයි ආරංචි. ලාල් සිං චද්ධා නිර්මාණය වන්නේ ටොම් හෑන්ක්ස් රඟපෑ Forrest Gump (1994) හොලිවුඩ් සිනමා නිර්මාණය ඇසුරෙන්. කරීනා කපූර්, විජේ සේතුපති එහි අමීර් සමඟින් රංගනයෙන් දායක වීමට නියමිතයි. රසිකාවියක් විසින් මෙම චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර අමීර් සමඟ ගත් ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුණා. එහි අමීර්ගේ උඩු රැවුල නොමැති වීම විශේෂත්වයක්. ලාල් සිං චද්ධා වෙනුවෙන් ද අමීර් සිය සිරුරේ බර කිලෝග්‍රෑම් 20කින් අඩු කර ගැනීමට ලොකු කැප කිරීමක් කළ බව ආරංචියි. අමීර් සිය බිරිය කිරන් රාඕ සමඟින් Laal Singh Chaddha නිෂ්පාදනය කරන අතර මේ වසරේ නත්තල වෙනුවෙන් එය ප්‍රේක්ෂකයන් වෙත ගෙන ඒමට සූදානම්.