අශෝකගෙන් වේදිකා නිර්මාණ DVD තුනක් නිකුත් වෙයි

මාර්තු 12, 2020

ප්‍රවීණ කලාකරුවෙකු වන අශෝක සෙනරත් මුදලිගේ විසින් වේදිකා ගත කරනු ලැබූ ‘දේශද්‍රෝහියෝ, සිකියුරිටි සින්නතම්බි, ඇනකොන්ඩා’ යන වේදිකා නිර්මාණ DVD මාධ්‍යයෙන් දැන් එළිදැක් වී ඇත. ප්‍රවීණ නළු නිළියන් රැසක් රඟපාන එම නාට්‍ය ත්‍රිත්වය දැනට නුගේගොඩ සරසවි පොත්හල ඇතුළු තවත් ස්ථාන කිහිපයකින් එය මිලදී ගැනීමට පුළුවන. දේශද්‍රෝහියෝ සිංහල පරංගි සමය අලළා නිර්මාණය වූ තේමාවකි. ඇනකොන්ඩා දේශපාලනය පසුබිම් කරගෙන තැනුණ ප්‍රහසන නිර්මාණයකි. සිකියුරිටි සින්නතම්බි සමාජයේ හාස්‍ය උත්පාදක තේමාවක් යටතේ නිර්මාණය වී ඇත.


ගෝල්ඩ් සුපර් නයිට් කොස්වත්තේදී

දොඩම්ගස්ලන්ද, කොස්වත්ත මහා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මඟින් විද්‍යාලයේ ගොඩනැගිලි පිළිසකර කර ගැනීමට ආධාර පිණිස පවත්වන ‘ගෝල්ඩ් සුපර් නයිට්’ සංගීත ප්‍රසංගය මාර්තු මස 13 වැනි දින කොස්වත්ත මංසන්ධියේදී පැවැත් වේ.

දෙරණ බෑන්ඩ් ඔෆ් ද බැට්ල් සංග්‍රාමයේදී අතිශය ජනප්‍රියත්වයට පත් වූ ‘මාවතගම බැජි’ සංගීත කණ්ඩායම සංගීතවත් කරන මෙම ප්‍රසංගයේදී දෙරණ ලිට්ල් ස්ටාර් පුංචි තරුව ආක්ෂා චමුදි, දිල්කි උරේෂා, මිලින්ද සඳරුවන්, තිලාන් හෙට්ටිආරච්චි, තුෂාර ජෝ, රවිඳු සංදීප, ශම්මු සිං, දුලාන් වේරලියද්ද, රවිශංක වේරලියද්ද ඇතුළු දිවියිනේ ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් ගී ගැයීමට නියමිතය.

ප්‍රසංග ආමන්ත්‍රණය මාධ්‍යවේදී අංජන ඉරෝෂන් බාලසූරිය සමඟින් සිසිර විමලසිංහගෙනි.

කොස්වත්ත ආදි ශිෂ්‍ය සංගමය වෙනුවෙන් රවිශංක වේරලියද්ද මෙම ප්‍රසංගය සම්බන්ධිකරණය සිදු කරයි.


OSCA පදනමෙන් ඇරයුමක්

මේ දක්වා ගීත නිර්මාණික කේන්ද්‍රයේ (OSCA) සාමාජිකත්වය ලබා නොගත් ගීත නිර්මාණකරුවනට එහි සාමාජිකත්වය ලබා ගැනීමට ඉඩ සලසා ඇති බව එහි සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස සරසවියට දන්වා සිටියි. එමෙන්ම තමන්ගේ ගීත මෙතෙක් ගීත නිර්මාණක කේන්ද්‍රය වෙත බාර නොදුන් රචකයන්ට ඒවා හැකි ඉක්මනින් බාරදෙන ලෙස ද ඉල්ලා සිටියි. මේ පිළිබඳ වැඩි විස්තර 0112305070 යන අංකයට අමතා ලබා ගත හැකිය. මෙම මස පළමුවැනිදා සිට ගුවන් විදුලි සහ රූපවාහිනී නාළිකා මඟින් ගීත නිර්මාණවලට කර්තෘ භාග ගෙවීම ආරම්භ කොට තිබේ. ඒ අනුව ගුවන් විදුලි නාළිකා මඟින් එක් ගීතයක් හෝ ඉන් සැලකිය යුතු කොටසක් එක් වරක් ප්‍රචාරය කිරීමේදී රුපියල් 20 ක අවම ගාස්තුවක් සහ රූපවාහිනි නාළිකා මඟින් එක් ගීතයක් හෝ ඉන් සැලකිය යුතු කොටසක් එක් වරක් විකාශය කිරීමේදී රුපියල් සියයක අවම ගාස්තුවක් නිර්මාණකරුවන්ට ගෙවනු ලැබේ.

Add new comment