ආයෙත් එයා දැන් ලොකු ළමයෙක්

මාර්තු 19, 2020

නිළි රැජන මාලිනී ෆොන්සේකාට මොස්කව් අන්තර්ජාතික උලෙළේදී රංගනය උදෙසා ඩිප්ලෝමා සහතිකයක් ලබා දෙමින් නැසීගිය ආචාර්ය ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ සම්මානනීය සිනමා සිතුවමක් වන එයා දැන් ලොකු ළමයෙක් සඳහා පාදක වූ එයා දැන් ලොකු ළමයෙක් කෘතිය නව මුද්‍රණය සරසවි ප්‍රකාශනයක් ලෙස එළිදක්වා තිබේ. එය කරුණාරත්න සපුතන්ත්‍රිගේ රචනයකි.

එයා දැන් ලොකු ළමයෙක් නවකතාව සාහිත්‍ය ක්ෂේත්‍රයේ ආන්දෝලනයකට තුඩු දුන් කෘතියකි. මොස්කව් නව වැනි අන්තර් ජාතික චිත්‍රපට උළෙලට ජාතික චිත්‍රපට සංස්ථාව විසින් නිල වශයෙන් ඉදිරිපත් කළ සිනමාපටය වූයේ ද මෙයයි. එහිදී රටවල් සියයක් පමණ ඉදිරිපත් කළ චිත්‍රපට තුන්සිය ගණන සමඟ තරග කොට මුල් චිත්‍රපට විස්ස දක්වා තේරුණා පමණක් නොව සිනමාපටයේ සුසිලාගේ චරිතය නිරූපණය කිරිම වෙනුවෙන් නිළි රැජන මාලිනී ෆොන්සේකා විසින් රඟපෑම පිළිබඳ ඩිප්ලෝමාවක් දිනා ගන්නා ලදී.

1977 වසරේ තිරගත වූ එයා දැන් ලොකු ළමයෙක් සිනමා කෘතියෙහි මාලිනිය සමඟ විජය කුමාරතුංග ප්‍රධාන චරිත රඟපෑවේය. විමල් කුමාර ද කොස්තා, ශ්‍රියානි පෙරේරා, ආනන්ද ෆොන්සේකා, ශාන්ති ලේඛා, එඩී ජයමාන්න, දයා තෙන්නකෝන්, පියසේන අහංගම, වින්සන්ට් වාස් ඇතුළු නළු නිළියන් රැසක් සෙසු චරිත රඟපෑහ. මෙම සිනමාපටය ලාංකේය සිනමා වංශ කතාවේ 360 වැනි සිංහල සිනමාපටය වන අතර මුණසිංහ අප්පුහාමි එය නිෂ්පාදනය කළේය.

ලේක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත්පතේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියකු වූ සපුතන්ත්‍රි උතුරේ යුද වාර්තාකරණය සඳහා ගුවන් මඟින් ගමන් කරද්දී යානයට එල්ල කළ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් විය.

 

ප්‍රසාද් සමරතුංග - යතේජා ඥානරත්න - නිශ්ශංක විජේරත්න

Add new comment