‘දඩ ඉම’ට නැවතත් අන්තර්ජාතික සම්මානයක්

මාර්තු 19, 2020

පිළිකා ශල්‍ය වෛද්‍ය නෙඔමාල් පෙරේරා විසින් තිර රචනා කොට, අධ්‍යක්ෂණය කළ 'දඩ ඉම' චිත්‍රපටය, ප්‍රංශයේ NICE International Film Festival හී අවසාන අදියරය සඳහා කාණ්ඩ පහකින් නිර්දේශ වී ඇති අතර එම චිත්‍රපටය මෙම තරගාවලියේදී යුරෝපීය ප්‍රීමියර් (European Premiere) ලෙස තිරගත කිරීමටද කටයුතු යොදා ඇත.

හොඳම චිත්‍රපටය, ජූරි නිර්දේශය, විදේශීය චිත්‍රපටියක හොඳම තිර රචනය, හොඳම නළුවා සඳහා ජැක්සන් ඇන්තනී සහ හොඳම කැමරාකරණයෙන් රුවන් කොස්තා ද මේ සඳහා නිර්දේශ වී ඇත.

මීට ප්‍රථම මෙම චිත්‍රපට Calcutta International Cult International Film Festival හීදි හොඳම ප්‍රථම අධ්‍යක්ෂණය වෙනුවෙන් Golden Fox Award  දිනා ඇත. තවත් අන්තර්ජාතික සම්මාන ගණනාවක්ම ලබා ඇති 'දඩ ඉම' චිත්‍රපටය, වසන්ත ඔබේසේකර විසින් අධ්‍යක්ෂණය කළ දඩයම චිත්‍රපටයේ sequel genre ගණයට අයත්, වසර 30කට පසු එදා නතර වූ එම කථාව වෙනම අයුරකින් නැවත දිග හැරෙන ත්‍රාසය මුසු වූ වෘත්තාන්ත චිත්‍රපටයකි.

ස්වර්ණා මල්ලවආරච්චි, ජැක්සන් ඇන්තනී, මහේන්ද්‍ර පෙරේරා, අකිල ධනුද්දර, මරියෝන් වෙත්තසිංහ, ඩිල්මින් පෙරේරා ඇතුළු තවත් නළු නිළියන් රඟන 'දඩ ඉම' වෛද්‍ය නෙඔමාල් පෙරේරාගේ සහ වෛද්‍ය නිශානි ප්‍රනාන්දු යුවලගේ කුලුඳුල් නිෂ්පාදනයද වේ. කැමරාකරණයෙන් රුවන් කොස්තා ද, සංගීත අධ්‍යක්ෂණයෙන් නදීක ගුරුගේද, ගීපද රචනයෙන් මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ද දායකත්වය ලබාදී ඇත.

ප්‍රසාද් සමරතුංග - යතේජා ඥානරත්න - නිශ්ශංක විජේරත්න

Add new comment