දයා ටැං ට ටෑං

අප්‍රේල් 23, 2020


ලංකික සිනමාවේ විශිෂ්ට රූපණවේදියකු වූ දයා තෙන්නකෝන් පසුගිය 17 වැනි දින අභාවප‍්‍රාප්ත විය. ඔහු මිය යන විට වයස අවුරුදු 79 කි. සුගතපාලසෙනරත්යාපාගේ හන්තානේ කතාව චිත‍්‍රපටයේ විශ්වි විද්‍යාල සිසුවකු ලෙස රගපාමින් සිනමාවට පිවිසෙන දයා ඒ වන විට පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ සිසුවකුව සිටියේය. 1941 වසරේ නොවැම්බර් මස 29 වැනි දින උපත ලද දයා බණ්ඩාර තෙන්නකෝන් මහනුවර ධර්මරාජ විදුහලෙන් මූලික අධ්‍යාපනය ලද්දේය. ඔහු ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ පාසැලේ මෙන්ම විශ්ව විද්‍යාලයේ ද සගයකු විය. අහස් ගව්ව, එයා දැන් ලොකු ළමයෙක්. සෙයිලම, බඹරු ඇවිත්, කරුමක්කාරයෝ , කිණිහිරියා මල්, සක්මන් මළුව ඇතුළු චිත‍්‍රපට රාශියකට මෙන්ම කඩුල්ල, තට්ටු ගෙවල් වැනි ටෙලි නාට්‍ය රාශියකට ද බිහිවුණු බෝසතාණෙනි, කොරා සහ අන්ධයා, හිත හොද අම්මණ්ඩි වැනි වේදිකා නාට්‍ය රාශියකට ද රංගනයෙන් දායක විය. සක්මන් මළුව චිත‍්‍රපටයේ රංගනය උදෙසා දයා සරසවිය සම්මාන උලෙළේ කුසලතා සම්මානයකින් ද පිදුම් ලද්දේය. දයා විවාහ ව සිටියේ සුප‍්‍රකට රංගනවේදිනි ගේ‍්‍රස් ආරියවිමල් සමඟය. මේ දයා ගැන ඔහුගේ සුමිතුරු ප‍්‍රවීණ කිවිවර බුද්ධදාස ගලප්පත්ති විසින් ලියන ලද සටහනකි.


දයා ට ටැං ට ටෑං කියන්නට අපට ඉඩක් ලැබුණේ නැත. එසේ කියන්නට හෝ අපේ‍්‍රල් 17 වන දා නිසල වූ ඔහුගේ රුව දකින්නට , දෑත් එක් කොට සුබ ගමන් කියා මිතුරාගෙන් සමුගන්නට හෝ කොරෝනාවෙන් නිදහසක් ලැබුණේ නැත. ජන ජීවිතය යහපත් දිනෙක දී නම්, දහස් ගණනක් රසික මිතුරු ඥාති සමූහයා සමග නිසල අරණකට යන්නට සිටි දයා නිහඬවම ඔහුගේ ජීවන සහකාරිය වූ ගේ‍්‍රස් ඇතුළු සීමිත ඥාති මිතුරු පිරිසක් සමඟ අවසන් ගමන් ගියේය.අපට ඔහු හමු වූ හැත්තෑව දශකයේ සිට අප හැර ගිය 2020 තෙක් ම ආදරණීය මිතුරෙක්ව සිටියේ ය.2019 වර්ෂයේ අග භාගයේ හමු වූ දිනෙක දයා පැරැුණි මතකයකට ගොස් මට මෙලෙස කීවා මතකය. ‘මචං ඊයෙ පෙරේදා මට පරණ කවි කොළ වගයක් හම්බ වුණා, පේරුකන්ද ගහපු, මම උඹට එවන්නම්, උඹට පුළුවන් ඒව ගැන උඹේ ෆෙස් බුක් එකේ ලියන්න ‘. දයා පොරොන්දු වූ ලෙසම 2019 ඔක්තෝබරයේ දිනෙක මට මෙසෙන්ජර් පණිවුඩයක් ඔස්සේ හැත්තෑව දශකයේ අග භාගයේ පමන පේ‍්‍රමතිලක පේරුකන්ද සංස්කරණය කළ කවි කොළය නම් කුඩා තීරු කවි කොළයක ස්ක‍්‍රීන් ෂොට් එකක් එවා ටිබිණ. දයා තෙන්නකෝන් විසින් රචනා කරන ලද රජෙක් දිටිමි නම් වූ කෙටි කවියක් එහි ඇතුළත්ව තිබිණ. කවි කොළයට කවි ලියා තිබූ සෙසු කවීන් අතර තිලක් ජයරත්න, ඞ්බ්ලිව්.ජයසිරි, ලාල් හෑගොඩ හා මා ද සිටිනු දැක මම මවිතයට පත් වීමි. දයා කවි රසිකයකු විනා කවියකු බව මම එතෙක් දැන සිටියේ නොමැත.දයාගේ කාව්‍ය ලෝලීත්වය පිළිබඳ මා හොඳාකාරව ම දන්නේ ඔහු මගේ කාව්‍ය රසිකයකු පමණක් නොව, ඇතැම් කවියකට දැඩි සේ පෙම් බැදි බව හමු වන සැම අවස්ථාවකදී ම සිහිපත් කරන බැවිනි. 1992 දී මවිසින් පළ කරන ලද නිශ්චලයි රාත‍්‍රිය කවි පොතෙහි එන මලක කඳුළ කවියට ඔහු ආසක්තව සිටියේ ය. ‘මචං බුද්ධි , උඹේ හොඳම කවිය ඒක තමයි මචං‘ ඔහු එසේ කී වාර කොතෙක්දැයි මට මතක නැත. කවියෙකුට කාව්‍ය රසිකයෙකුට තමා වඩාත් ප‍්‍රිය කරන එවන් නිර්මාණයක් තිබෙන්නට හැකි බව මම ද දන්නෙමි. දයා පේරාදෙණිය සරසවියෙ උපාධිධාරියකු වූ හෙයින් හැටේ දශකය අග භාගයේ දී මහදුරු සරච්චන්ද්‍රගෙන් ඉගෙනුම ලැබුවාට සැක නැත. ඔහු තම සිනමා රංගනය අරඹන්නේ ඔහුට හුරු පුරුදු පේරාදෙණි සරසවිය ආශ‍්‍රිතව සුගතපාල සෙනරත් යාපා විසින් අධ්‍යක්ෂණය කරන ලද හන්තානේ කතාවෙහි කෙළිලොල් යෞවන සරසවි මාණවකයකුගේ චරිතයට පණ පොවමිනි. අප පළමු වරට දයා තෙන්නකෝන් දකින්නේත්, ඔහුගේ රංගනයට පෙම් බඳින්නේත් හන්තානේ කතාවෙහි ඔහු රඟ පෑ සැහැල්ලූ‍ දඟකාර චරිතය අප සිත් ගත් බැවිනි. සරසවියෙන් පිට වී ඔහු පුවත්පත් කලාවේදියකු ලෙස ජීවිතය ඇරැුඹූ බව අපට සිහිපත් කළෝ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාරයෝය. ලස්සන නමින් පළ වූ පුවත් පතට දයා එකතු ව සිටි බව තිලක් පවසන්නේය. එහෙත් පසු කලක දයා ගේ නිත්‍ය රැුකියා ස්ථානය වන්නේ ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි.

දයා තෙන්නකෝන් වේදිකා රංගනයට එක්වන්නේ 1970 දශකයේ මුල් කාලයේ සිටම බව අපි දනිමි. නාමෙල් වීරමුණිගේ විශිෂ්ටතම නිෂ්පාදනය ලෙස සැලකෙන නැට්ටුක්කාරි හි ඔහු ප‍්‍රධාන නළු භූමිකාවක් රඟයි. නැට්ටුක්කාරී නිෂ්පාදන සියල්ලෙහිම, උපාලි අත්තනායක, නාමෙල් වීරමුණි හා ධම්ම ජාගොඩ විසින් ප‍්‍රධාන චරිතය රඟ පෑ කල්හි දයා මුල් නිෂ්පාදනයේ සිට රඟ පෑ චරිතයම රඟ පාන්නේය. දයා ගේ වේදිකා නාට්‍ය රංගනයෙහි කඩඉමක් ලෙස සැලකෙන කොරා සහ අන්ධයා රංගනය සමග ඔහු වේදිකාවට පිවිසෙන්නේ ද 1970 දී ය. ධර්මසේන පතිරාජගේ පිටපත විශිෂ්ට වේදිකා නිර්මාණයක් ලෙස අධ්‍යක්ෂණය වන්නේ ධම්ම ජාගොඩ අතිනි. විමල් කුමාර ද කොස්තා සමග කොරා ලෙස දයා පෑ රංගනය විශිෂ්ටය. වේදිකාවේ දැවන්තයන් සමග රංගනයට පිවිසෙන දයාගේ විශිෂ්ටතම භූමිකාව අප දකින්නේ 1972 දී සුගතපාල ද සිල්වා ගේ දුන්න දුනු ගමුවේ බැගෑසේන ගේ චරිතය සමගිනි. ඔහු මාලිනී වීරමුණි සමග දුන්නෙහි කළ රංගනය තාත්වික නාට්‍යයක පේ‍්‍රක්ෂකයන් දුටු අපූරුතම රංගනයකි. වේදිකාව සමග ඊට සමගාමීව සිනමා රංගනයෙහි ද දස්කම් පෑ දයා ගේ විශිෂ්ට රංගන ප‍්‍රතිභාව අප දකින්නේ ධර්මසේන පතිරාජගේ බඹරු ඇවිත් චිත‍්‍රපටයෙනි. එච්.ඞී.පේ‍්‍රමරත්නගේ වීසි දැල දයාගේ ප‍්‍රතිභාන්විත රංගනය අප මතකයට නංවන තවත් සිනමා කෘතියකි. වේදිකාව, සිනමාව මතු නොව ටෙලි නාට්‍ය නිර්මාණ ක්ෂේත‍්‍රය ද තම රංගන ප‍්‍රතිභාවෙන් අතික‍්‍රමණය කළ දයා තෙන්නකෝන් නළුවකු තුළ ජීවත් වූ සැබෑ මිනිසෙකු වූයේය. ඔහු මිනිසත්කම උතුරා ගිය සොඳුරු හදැත්තකු වූයේය. සහෝඅද්‍ර කලාකරුවන් සමග සහෝදරත්වයෙන් නිර්මාණකරණයෙහි දශක ගණනාවක් ජීවත් වූවෙකි. සංවේදී නිහතමානී චරිතයකි. 2020 ජනවාරි 12 වන දා ඔහුගේ නිර්මාණ සගයා වූ ජයලත් මනෝරත්න මියගිය මොහොතෙහි ඔහු තම මුහුණු පොතට එක් කොට තිබූ මේ පෝස්ටුව දයා කෙතරම් ළෙංගතු මිත‍්‍රශීලී චරිතයක් ද යන්නට මනා සාක්ෂියකි

”‍අනෝතප්ත විල නෙළුම සොයාලා

මනෝරත්න යයි අපව දමාලා...”‍

මේ කෙටි සටහන අවසන් කරන්නට ඔහුගේ ආචාර සමාචාර කියමන පිළිබඳ වචනයක් එක් කළ යුතු යයි සිතමි.ටැං ට ටෑං , දයා අප හමුවන මොහොතේත් අපෙන් සමුගන්නා මොහොතේත් අප අමතන ආදරණීය සහෝදරාත්මක ආමන්ත‍්‍රණයයි. ඔහු සමග ටැං ට ටෑං කියු බොහෝ දෙනා අද අප අතැර ගොසිනි. යූ.ආරියවිමල්,පියසේන අහංගම,තිලක් ජයරත්න,මර්සි එදිරිසිංහ,විමල් කුමාර් ද කොස්තා,සුගතපාල ද සිල්වා, ධර්මසේන පතිරාජ ආදීහු ටැං ට ටෑං සමාජයේ සෙස්සෝ වෙති. ඔවුන් සියල්ලන් ම මෙන් ම දයා තෙන්නකෝන් ද නො මියෙන චරිතයක් ලෙස අප මතකයෙහි සදා රැුඳී ජීවත් වන්නේ ය.

Add new comment