හදිසි විවාහයට 47 යි

ජුනි 11, 2020

අමිතාබ් බච්චන් හෙවත් බිග් බී බොලිවුඩයේ පමණක් නොව ආසියාවේම දිගු කාලීනව දිලෙන සුපිරි තරුවක්. දශක පහකට ආසන්න කාලයක් පුරා බොලිවුඩය බැබළ වූ ඔහුගේ ජනප්‍රියත්වයේ අදටත් අඩුවක් දක්නට නැහැ. අමිතාබ් බිරිය ජයා බහදූරි බච්චන් ද දායක වූ සිනමා නිර්මාණ සංඛ්‍යාව එතරම් විශාල නොවූවත් 60 - 70 කාලයේ බොලිවුඩයේ අහිංසක පෙම්වතිය වූයේ ඇය යි. අමිතාබ් - ජයා සැලකෙන්නේ, බොලිවුඩ් සිනමාවේ සංකේත තරු යුවළක් ලෙසින්. මේ දෙදෙනාගේ ආදරය පරම්පරා ගණනක් ආදර්ශයට ගෙන තිබෙන බවත් රහසක් නෙවෙයි. පසුගිය 03 වැනිදාට යෙදී තිබුණේ ඔවුන්ගේ 47 වැනි විවාහ සංවත්සරය යි. අමිතාබ් - ජයා විවාහය තරු පිරිවරා සිදුවූවක් නොව හදිසි විවාහයක් විය.

එයට හේතුව සන්ජීර් චිත්‍රපටයේ සාර්ථකත්වයයි. එනම් සන්ජීර් සාර්ථක වුවහොත් අමිතාබ් සිය මිතුරන් සමඟ පළමුවරට ලන්ඩනයට යාමට සංවිධානය කර තිබූ විනෝද චාරිකාවකි. මිතුරන් සහ ජයා ද සමඟින් ඒ සඳහා යාමට අමිතාබ් තම පියා හරිවන්ශ් රායි බච්චන්ගෙන් ගෙන් අවසර ඉල්ලා සිටියේය. එක් කොන්දේසියකට යටත්ව ඔහුට ඒ වෙනුවෙන් අවසර ලැබිණි. එනම් ජයා විවාහකර ගෙන එම විනෝද චාරිකාව යා යුතු විය. ඒ අනුව අමිතාබ් - ජයා විවාහය එක් දිනක් ඇතුළත සංවිධානය කෙරිණි. විනෝද චාරිකාව සඳහා ගුවන් ගමන යෙදී තිබූ දිනයේදීම හින්දු චාරිත්‍රානූකූලව විවාහය සිදු කෙරිණි. එය බච්චන් පවුලේ සහ බහදූරි පවුලේ ළඟම ඥාතීන් ද අමිතාබ් සහ ජයාගේ සමීපතම මිතුරු මිතුරියන් ද පමණක් සහභාගි වූ විවාහයක් විය. අභිමාන්, චුප්කේ චුප්කේ, ෂෝලේ අමිතාබ් - ජයා තිරයේ පෙම්වතුන් වූ සාර්ථක සිනමා නිර්මාණයන් ය.