අජේගෙන් ඔක්සිජන් සල්මන්ගෙන් සැනිටයිසර්

ජුනි 11, 2020

කොරෝනා වෛරස් වසංගය තවමත් ලොවෙන් තුරන් වී නැහැ. වෛරසයකට එරෙහිව ලොවක් සටන් කරන අවස්ථාවක බොලිවුඩ් තරු ද නන් අයුරින් ඒ වෙනුවෙන් කැප වී කටයුතු කරනු දකින්නට ලැබුණා. පසුගිය දිනෙක අජේ දේව්ගන් ධරාවි රෝහලට ඔක්සිජන් සිලින්ඩර පරිත්‍යාග කළා. අජේ දේව්ගන් ෆිල්ම්ස් පදනම ඔස්සේ ඔහු මෙම පරිත්‍යාගය සිදු කළ අතර ඉන්දියාව කොරෝනා වෛරසය පැතිර යාම අතින් ඉහළ ස්ථානයක පසු වෙනවා. තවද පවුල් 700 ක් වෙනුවෙන් වියළි ආහාර සහ සනීපාරක්ෂක කට්ටල ලබා දීමටද අජේ දේව්ගන් ෆිල්ම්ස් පදනම කටයුතු යොදමින් සිටී. ඉන්දියාව වසා දැමූ කාලයේදී චිත්‍රපට කර්මාන්තයේ දෛනික වැටුප් කම්කරුවන්ට සහ කාර්මික ශිල්පීන්ට උපකාර කිරීම සඳහා ද අජේ, අප්‍රේල් මාසයේදී බටහිර ඉන්දියානු සිනමා සේවකයින්ගේ සම්මේලනයට ඉන්දීය රුපියල් ලක්ෂ 51ක් පරිත්‍යාග කළා.

කොරෝනා වෛරසය මැඩලීමේ සටනේ, මීට පෙර සෞඛ්‍ය ආරක්ෂණ කට්ටල සහ මුදල් පරිත්‍යාග කළ සල්මන් ඛාන් පසුගියදා මුම්බායි පොලිසියට සැනිටයිසර් බෝතල් ලක්ෂයක් පරිත්‍යාග කළා. ඔහුගේ මුලිකත්වයෙන් ට්‍රක් රථයකින් අසරණ වූවන් වෙනුවෙන් වියළි ආහාර පාර්සල් බෙදාදීමක් ද සිදු කෙරුණා. මෙම ආහාර ට්‍රක් රථය නිර්මාණය කරන ලද්දේ සල්මන්ගේ රාධේ: යූවර් මොස්ට් වොන්ටඩ් බායි චිත්‍රපටය වෙනුවෙන්. කෙසේ වෙතත්, වසංගතය මධ්‍යයේ දුප්පතුන් පෝෂණය කිරීම සඳහා එම ට්‍රක් රථය යොදා ගැනීමට සල්මන් සහ ඔහුගේ නිෂ්පාදන ආයතනය තීරණය කළා.