අනුෂ්කා දැඩි නීති ඉල්ලයි

ජුනි 11, 2020

සතුන්ට ආදරය කරුණාව දැක්වීම උතුම් වූ මිනිස් ගුණයක්. මිනිසා, මිනිසාටවත් ආදරය නොකරන සමාජයක සතුන්ට ආදරය, කරුණාව දැක්‌වීම සැබවින්ම සතුටට කාරණාවක්. බොලිවුඩ් තරු අතරත් සතුන් වෙනුවෙන් තම කාලය, ධනය කැප කරන තරු ද සිටිති. අනුෂ්කා ෂර්මා ඒ අතර ප්‍රධාන අයෙක්. නිළියක වගේම සත්ත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක ලෙසින්ද කටයුතු කරන අනුෂ්කා පසුගිය දිනෙක සත්ත්ව හිංසනයට එරෙහිව ‘දැඩි නීති’ ඉල්ලා සිටියා. රතිඤ්ඤා පුරවන ලද අන්නාසි ගෙඩියක් ලබා දීමෙන් පසු ගැබිනි ඇතින්නකගේ මරණයේ පුවත පැතිර යාමෙන් පසු ඇය පවසා සිටින්නේ සත්ත්ව හිංසාවට එරෙහිව දැඩි නීති අවශ්‍ය බවයි.

මෙය ඇය සතුන් වෙනුවෙන් කතා කළ පළමු අවස්ථාව නොවේ. මීට පෙරදී ද අවස්ථා ගණනාවක ඇය මේ බව පැහැදිලි කර සිටියා. අනුෂ්කා පෙන්වා දෙන්නේ, මේ වන විට වැරදිකරුවන්ට දඬුවම් පැමිණවීම සඳහා 1960 වසරේදී පනවන ලද සත්ත්ව හිංසාව පිළිබඳ පනත සංශෝධනය කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බවට පත්වී ඇති බවයි. පසුගිය වසරේදී මුම්බායි හි නේවාසික ගොඩනැගිල්ලක වර්ෂාවෙන් ආරක්ෂාවීම සඳහා පැමිණි වීදි සුනඛයෙකුහට සැරයටියකින් පහරදී මරණයට පත් කළ සිදුවීමෙන් පසුවද ඇය මේ බව දැඩි ලෙස අවධාරණය කර සිටියා. එතැනින් නොනැවතුණු අනුෂ්කා මුම්බායි නගරයේ අසරණ සතුන් වෙනුවෙන් නවාතැනක් ඉදිකළ අතර ඉදිරියේදී එහි පශු වෛද්‍ය රෝහලක් ද ඉදිරි කිරීමට ද බලාපොරොත්තු වන්නීය.