උගත් පාඩම

ජුනි 25, 2020

අභිෂේක් චෞබීස්ගේ චිත්‍රපටයක් වන "උඩ්තා පන්ජාබ්" නිකුත් කෙරුණේ මීට වසර හතරකට පෙරදීය. ඒ සමඟ බොලිවුඩ් සිනමාවට නවක නළුවකු ලෙස රංගනයෙන් දායක වූ දිල්ජිත් දොසන්ජ් පවසන්නේ තමා මෙම චිත්‍රපටයෙන් බොහෝ දේ ඉගෙන ගත් බවයි. දිල්ජිත් ඒ බව ඉන්ස්ටග්‍රම්හි සඳහන් කර සිටියේ චිත්‍රපටයේ ඔහුගේ රංගනය දැක්වෙන වීඩියෝවක් සමඟිනි. ෂාහිඩ් කපූර්, ආලියා භට් සහ කරීනා කපූර් ඛාන් ද රංගනයෙන් දායක වන "උඩ්තා පන්ජාබ්" පන්ජාබ් ප්‍රාන්තයේ තරුණයින් විසින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම සම්බන්ධව නිර්මාණය වූවකි. මෙම චිත්‍රපටය මධ්‍යම චිත්‍රපට සහතික කිරීමේ මණ්ඩලයේ දී (සීබීඑෆ්සී) ගැටලුවලට මුහුණ දුන් අතර එහි ප්‍රතිඵලයක් ලෙස චිත්‍රපටයේ කොටස් 89 ක් කපා දැමීමට නිෂ්පාදකයන්ට සිදු විය.කොරෝනා වසංගතයෙන් පසු යථා තත්ත්වයට පත්වීමේ මූලික පියවරක් ලෙස සිනමාහල් නැවත විවෘත වන විට දිල්ජිත්ගේ නවතම බොලිවුඩ් චිත්‍රපටය වන "ගුඩ් නිව්ස්" ඩුබායි හි නැවත නිකුත් කිරීමට සූදානම් වේ.අක්ෂේ කුමාර්, කරීනා කපූර් ඛාන් සහ කියාරා අද්වානි ද රඟපාන “ගුඩ් නිව්ස්” යනු කෘත්‍රිම සංසේචනය මඟින් දරුවන් ලැබීමට උත්සාහ කරන පවුල් දෙකක කතාවකි.