අපට නොදන්වා ශාලා ඇරලා

ආචාර්ය සෝමරත්න දිසානායකගෙන් බරපතළ චෝදනාවක්
ජුනි 25, 2020

යම්කිසි ක්ෂේත්‍රයක තීරණයක් ගනිද්දි ඒ  හා සබැඳි ක්‍රියාකාරී පිරිසගෙන් අදහස් විමසිය යුතුයි. සිනමා කර්මාන්තයට ද ඒක පොදුයි. නමුත් මෙතන යම් තීරණයක් අරගෙන තියෙනවා අපිවත් දන්නෙ නැති. කවුරු කොහොම තීරණය කළාද දන්නෙ නැහැ 27 වැනිදා සිනමා ශාලා විවෘත කරමු කියලා. මමත් ඒ ගැන දැන ගත්තේ සෝෂල් මීඩියා එකෙන්. අඩුම තරමේ සිනමා ශාලා වහද්දි තිරගත වෙමින් තිබූ චිත්‍රපටවල අධ්‍යක්ෂවරු හෝ නිෂ්පාදකවරුන්ගෙන්වත් අහලා නැහැ. හරියටම සතියකට කලින් මගෙන් අහනවා සුනාමි සිනමාපටය දානවද කියලා.  සුනාමි කියන්නේ අතිශය  දැවැන්ත සිනමාපටයක්. දැවැන්ත පිරිවැයක් අපි මේ සඳහා දැරුවා. ඒ වගේ නිර්මාණයක් එකපාරටම රී ලොන්ච් එකක් දෙන්න බැහැ. ඊට යම් ක්‍රමවේදයන් ටිකක් කරන්න ඕන. ජනතාව දැනුම්වත් වන්න ඕන  සුනාමි සිනමාපටය නැවතත එනවා කියලා. එහෙම නැතුව සිනමාපටය තිරගත කරලා වැඩක් තියෙනවද. සුනාමි සිනමාපටයට හොඳ ප්‍රේක්ෂකාගාරයක් තිබුණා. විශේෂයෙන්ම පාසල් ළමයින් පෝලිම් ගැහිලා හිටියා මේක නරඹන්න. මට කියන්න තියෙන්නේ සුනාමි සිනමාපටය නැවත පෙන්නවනවා. ඒක අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට කියන්නම  ඕන. හැබැයි 27 සිනමාපටය එන්නෙ නැහැ.