නවසීලන්තයෙන් ගෝල්මාල් අගේන්

ජූලි 2, 2020

රෝහිත් ෂෙට්ටි අධ්‍යක්ෂණය කළ ගෝල්මාල් අගේන් චිත්‍රපටය නවසීලන්තයේදී නැවත තිරගත කෙරෙන පළමු බොලිවුඩ් චිත්‍රපටය බවට පත් වී ඇත. ගෝල්මාල් චිත්‍රපට මාලාව මේ වන විට බොලිවුඩයේ ජනප්‍රියතම හාස්‍යමය චිත්‍රපට මාලා‍වක් බවට පත් වී අවසන්ය. ගෝල්මාල් අගේන් චිත්‍රපටයේ  සුපුරුදු මිතුරන් වන අජේ දේව්ගන්,  තුෂාර් කපූර්, අර්ෂාද් වර්සි සහ ෂර්මන් ජෝෂිගේ රංගනයට අමතරව තාබු සමඟින් පරිනිති චොප්රා, නීල් නිතින් මුකේෂ්, ප්‍රකාශ් රාජ්, නානා පටේකර්ද ප්‍රථම වරට ගෝල්මාල් චිත්‍රපට මාලාවට එක් වූහ. 

2017 දී තිරගත වූ මෙම චිත්‍රපටයේ පෝස්ටරය බෙදාහදා ගනිමින් රෝහිත් සඳහන් කර තිබෙන්නේ, “නවසීලන්තයේ නැවත සිනමාහල් විවෘත කිරීම සමඟ ගෝල්මාල් යළි තිරගත කිරීමට තීරණය කර ඇති බවයි. මෑතකදී කොරෝනා වෛරසයෙන් නිදහස් රටක් ලෙස ප්‍රකාශයට පත් කළ නවසීලන්තය ජුනි 25 වැනිදා සිට නැවත සිනමාහල් විවෘත කිරීමට කටයුතු යෙදීය. මේ අතර ටයිම්ස් ඔෆ් ඉන්ඩියා සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් නළු අර්ෂාද් වර්සි ගෝල්මාල් 5 ගැන ද ඉඟි කළේය.