සිනමාව නඟා සිටුවන්න අයවැයෙන් උපරිම සහාය

ජූලි 2, 2020

දේශීය සිනමා කර්මාන්තය නඟා සිටුවීමට උපරිම සහන මෙවර අයූවැයෙන් සලසා දීමට කටූයුතු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.   

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වර්තමාන සිනමා ක්ෂේත්‍රයේ ඇතිවූ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට අරලියගහ මන්දිරයේදී ඉකුත් 26 වැනිදා පැවැති සාකච්ඡාවකදී අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.   

සිනමා ක්ෂේත්‍රයේ නියුතු වූවන් විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූ අතර යහපාලන රජය සිනමා ක්ෂේත්‍රයට අහිමි කළ බදු සහන නැවත ලබා දෙන්නැයි ඔවුහු මෙහිදී අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කළහ.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ කලාකරුවන්ට සලසා දුන් සහන පිළිබඳව ද මෙහිදී සිහිපත් කළ සිනමාශාලා හිමියන් පෙන්වා දුන්නේ පසුගිය රජය සමයේ එම බදු සහන ඉවත් කිරීම නිසා සිනමා කර්මාන්තයේ යෙදී සිටින බොහෝ පිරිස් අපහසුතාවට පත්ව සිටින බවයි.  

රටේ වත්මන් ආර්ථික තත්ත්වය සහ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ආර්ථිකය බිඳවැටී ඇති ආකාරය පිළිබඳ මෙහිදී විස්තර කළ අග්‍රාමාත්‍යවරයා, සිනමා කර්මාන්තය නඟාසිටුවීම සඳහා රජයක් වශයෙන් සැලසිය හැකි සහන ඉදිරි අය-වැයෙන් සලසා දෙන බව ප්‍රකාශ කළේය.   

වසංගත තත්ත්වය සෞඛ්‍ය අංශ පාලනය යටතේ පවූතින හෙයින් සිනමාශාලා ආරම්භ කිරීමට පියවර ගත්ත ද, රටේ වත්මන් තත්ත්වය හේතුවෙන් පාඩු ලැබීූමට සිදුවේ යැයි බියෙන් නිෂ්පාදකයන් තමන්ගේ චිත්රපට මේ අවස්ථාවේ දී ප්‍රදර්ශනය කිරීමට පසුබට වන බවද මෙහිදී සඳහන් කෙරිණි.   

සිනමාශාලා විවෘත කිරීම සඳහා වන සෞඛ්‍ය උපදෙස් මේ වන විට සිනමාශාලාහිමියන් වෙත ලබාදී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා මෙහිදී කීවේය.   

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් දින සියයකට වැඩි කාලයක් සිනමාශාලා වසා දමා තිබුණ ද සිනමා ශාලා යාවත්කාලීනව පවත්වාගෙන යාම සඳහා සිනමාශාලා හිමියන්ට විශාල පිරිවැයක් දරන්නට සිදු වූ බව ද මෙහිදී සිනමාකරුවෝ පෙන්වා දුන්හ.   

සිනමාශාලාවල විදුලි බිල් වෙළෙඳ ගණනය කිරීම යටතේ ගණනය කිරීම වෙනුවට කර්මාන්ත ගණනය කිරීම යටතේ ගණනය කිරීම සඳහා පියවර ගන්නා ලෙසද සිනමාශාලාහිමියෝ ඉල්ලීමක් කළහ.   මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය සමඟ සාකච්ඡා කර විසඳුමකට එළඹෙන්නැයි අග්‍රාමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතාට උපදෙස් දුන්නේය.  

චිත්‍රපට බෙදාහැරීම ඇතුළු සිනමා කර්මාන්තය මුහුණදී සිටින ගැටලු රැසක් සම්බන්ධයෙන් මෙහිදී අග්‍රාමාත්‍යවරූයාගේ අවධානය යොමු කෙරිණි.  එහිදී වැඩිදුරටත් අදහස් දැක්ව අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය. 

“ලෝක ආර්ථිකය වගේම දේශීය ආර්ථිකයත් මේ අවස්ථාවේ කඩා වැටී තිබෙනවා. එදා අපි බාර දුන් ආණ්ඩුව නෙවෙයි අපට බාරගන්න සිද්ධ වුණේ. ඒ අතරේ මේ කොවිඩ් වසංගතයක් ආවා. මේ වෙන තෙක් ලෝක බැංකුවෙන් හෝ මොනම තැනකින්වත් එක ඩොලරයක් අපට ලැබී නැහැ. සිනමා ක්ෂේත්‍රයේ දියුණුව සඳහා රටේ වත්මන් තත්ත්වය හමුවේ වූවත් මෙවර අයවැයෙන් දිය හැකි සහන ලබා දෙනවා.”  

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල, බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටූයුතු අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ, ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථා සභාපති ජයන්ත ධර්මදාස යන මහත්වරුන්, ප්‍රවීණ සිනමාවේදීන් වන මාලිනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, දම්මිත් ෆොන්සේකා, සනත් ගුණතිලක යන මහත්ම මහත්මීන් ඇතුළු සිනමා කර්මාන්ත ක්ෂේත්‍රයේ නියුතු පිරිස් සහභාගී වූහ.