‘සිබිල් නැන්දා’ සදහටම සමු ගනී

ජූලි 2, 2020

මෙරට ප්‍රවීණතම ළමා කතා ලේඛිකාවක සහ විත්‍ර ශිල්පිනියක වූ සිබිල් වෙත්තසිංහ මහත්මිය පෙරේදා (30) රාත්‍රියේ අභාවප්‍රාප්ත වූවාය.

දින 4ක පමණ කාලයක් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ ඒ මහත්මිය මිය යන විට 93 වැනි වියේ පසු වූවාය. ඇයටම ආවේණික චිත්‍ර සහ කතන්දර ශෛලිය තුළින් දැයේ දරුවන්ගේ ආදරය දිනා ගත් සිබිල් වෙත්තසිංහ නොහොත් ‘සිබිල් නැන්දා’ දරුවන්ගේ මනස සේම කුසලතා වර්ධනයට කළ සේවය ද අපමණය. 1982 වර්ෂයේ ජපානයේ පැවැත්වුණු පොත් චිත්‍ර ශිල්පීන්ගේ තරගයක දී ‘කුඩ හොරා’ ළමා කතාව ඉදිරිපත් කළ සිබිල් වෙත්තසිංහ මහත්මිය ලෝකයෙන්ම තෙවැනි ස්ථානය දිනා ගත්තාය.

1987 දී ජපානයේ පළවුණු ජනප්‍රියම විදෙස් ළමා කතාව වන්නේත් ‘කුඩ හොරා’ වන අතර නෝර්වේ, ඩෙන්මාර්කය, ‌ඇමෙරිකා එක්සත් ජනපදය, කොරියාව ඇතුළුව ලෝකයේ රටවල් 12ක භාෂාවන්ට මෙම කෘතිය පරිවර්තනය විය. සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් සිබිල් වෙත්තසිංහ මහත්මිය ලියූ ළමා පොත් ප්‍රමාණය 250කට අධිකය. ලොව වැඩිම අවසානය සහිත ළමා කෘතිය රචනා කරමින් ඒ මහත්මිය ගිනස් වාර්තා පොතට එක් වූවාය.

1956 එළි දුටු ‘කුඩ හොරා’ කෘතිය, කතාවත් චිත්‍රත් එකට සංකලනය කරමින් සිංහල ළමා කතාව නව මානයකට යොමු කළ සිබිල් වෙත්තසිංහ මහත්මිය එතැන් පටන් නිර්මාණය කරන ලද ළමා හා යොවුන් කෘති වෙනුවෙන් ජාතික හා අන්තර්ජාතික වශයෙන් බොහෝ සම්මාන දිනා ඇත. 1965 දී ‘වෙසක්‌ පහන’ කෘතියට මහා බ්‍රිතාන්‍යයේ ඉසොබෙල් හටිං සම්මානය හිමි වීම, 1986 වසරේ දී ජපානයේ පළවූ හොඳම විදේශීය ළමා කෘතිය වශයෙන් ‘කුඩ හොරා’ පොත සම්මානයට භාජනය වීම හා ටෝකියෝ නුවර ළමා පුස්‌තකාලය මඟින් 1987 වසරේ ඉතාම ජනප්‍රිය ළමා පොත ලෙස එය තෝරා ගැනීම ඒ අතර වෙයි. හොඳම සැලසුම සහිත ළමා පොත සඳහා 2003 සාක්‌ සම්මානය ඇගේ ‘දුවන රැවුළ’ පොතට හිමි වීම අන්තර්ජාතික වශයෙන් ඇය ලැබූ සම්මානවලින් කිහිපයකි. ඇගේ ‘කුඩ හොරා’ කෘතිය ජපානය, චීනය, කොරියාව, පිලිපීනය, නෝර්වේ, ස්‌වීඩනය, ඩෙන්මාර්කය, ඇමෙරිකා එක්‌සත් ජනපදය ඇතුළු රටවල් 12ක පළකර ඇති අතර තවත් බොහෝ පොත් ද වෙනත් විදේශවල ප්‍රකාශයට පත් කර ඇත. මෙලෙස විසිදුනු පොතක්‌ ලෙසින් එළිදැක්වුණු ‘පොඩ්ඩයි පොඩ්ඩියි’ කෘතිය ද මුලින්ම පළ වූයේ 2008 වසරේ දී ජපානයේය.

ගාලූ පුරයේ උපත ලද සිබිල් වෙත්තසිංහ මහත්මිය පළමුව ගිංතොට බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙන් අධ්‍යාපනය ලබා තිබෙන අතර දෙවනුව බම්බලපිටියේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන් සිප්සතර හදාරා තිබේ. 1955 වසරේ දී දොන් ධර්මපාල වෙත්තසිංහ මහතා සමඟ විවාහ වී තිබෙන සිබිල් වෙත්තසිංහ මහත්මිය දරුවන් තිදෙනකුගේ ආදාරණීය මවකි. සිබිල් වෙත්තසිංහ මහත්මිය සිය කලා ජීවිතය ගොඩනඟා ගත්තේ ස්‌වෝත්සාහයෙන් වන අතර ගාල්ලේ ගිංතොට හැදුණු වැඩුණු ඇගේ කලා ජීවිතයේ අඩිතාලම ඒ රමරණීය පරිසරය වූ බවද විචාරකයෝ පෙන්වා දෙති.

අභාවප්‍රාප්ත සිබිල් වෙත්තසිංහ මහත්මියගේ දේහය ඊයේ (01) පස්වරුවේ පැපිලියාන, ඩයස් පාරේ පිහිටි ඇගේ නිවස වෙත රැගෙන එන ලද අතර අද (02) දහවල් 12ට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක මහජන ගෞරවය සඳහා දේහය තැන්පත් කිරීමට නියමිතය. ඉන් අනතුරුව ඒ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු 3.00ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.

මහින්ද අලුත්ගෙදර