තරුවලටත් තරු පෙන්නූ විදුලි බිල්

ජූලි 9, 2020

කොරෝනා වෛරසය ව්‍යාප්තිය සමඟින් අපේ රටත් වසා දැමූ මාස කිහිපයට පසු පැමිණි විදුලි බිල් ගැන සමාජ ජාල ඔස්සේ බොහෝ දෙනා අදහස් පළ කරන්නට විය. බොලිවුඩ් ආරංචි ගෙන එන්නේ, අපේ රටේ විතරක් නොව අසල්වැසි ඉන්දියාවේත් එවැනි සිදුවීම් වූ බවයි. තාප්සි පන්නු ඒ විදියේ අරුම පුදුම විදුලි බිලක් ලද තරුවක්. රට වසා දැමූ කාලයේදී විදුලි බිල්පත් ඉහළ යෑමට එරෙහිව සාමාන්‍ය ජනතාව හඩ නඟනවිටදී තාප්සිත් ඒ අතරට එක් වූවාය.

සාමාන්‍යයෙන් ඉන්දීය රුපියල් 3000ක් සහ 4000ක් අතර ප්‍රමාණයක විදුලි බිලක් ගෙවන තාප්සි වෙත පසුගිය දා පැමිණියේ රුපියල් 36,000ක බිදුලි බිලකි. එය දුටු ඇය එක්වරම කලබල වූ බව පවසන්නීය. මෙතරම් වැඩිවීමක් වෙනුවෙන් පසුගිය මාසයේදී පමණක් අලුතින් භාවිත කළ හෝ මිලදී ගත් උපකරණ මොනවාදැයි තමා කල්පනා කරමින් සිටින බව විදුලි බිල්වල ඡායාරූප සමඟින් ඇය ට්ව්ටර්හි සටහන් කළාය. තවද පසුගිය කාලයේ භාවිත නොකළ මහල් නිවාසයක් වෙනුවෙන්ද විශාල බිලක් ලද බවත් ඇය තවත් සටහන් තබමින් සඳහන් කර සිටී.