ප්‍රියංකා මෙට්‍රික්ස් සමඟ

ජූලි 16, 2020

බොලිවුඩයෙන් හොලිවුඩයට පිවිසි ප්‍රියංකා චොප්රා කීනු රීව්ස්ගේ මෙට්‍රික්ස් සිව්වැනි චිත්‍රපටයේ රංගනයට එක්වී තිබේ. කේරි ඈන් මොස්, ජේඩා

පින්කෙට් ස්මිත්, ලැම්බර්ට් විල්සන්, නීල් පැට්‍රික් හැරිස් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටයේ රූගත කිරීම් බර්ලින්හිදී ආරම්භ කර ඇත. කොරෝනා වෛරසය පැතිරයාමට පෙර සැන් ෆ්රැන්සිස්කෝ හි නිෂ්පාදන කටයුතු අවසන් කර තිබුණි. මෙහි රංගනය වෙනුවෙන් නළු නිළියන් පුහුණුවීම්වල පවා නිරත වු බව වාර්තා වේ. ‘ද මැට්‍රික්ස් 4’චිත්‍රපටය 2022 අප්‍රේල් 1 වැනිදා සිනමාහල් වල තිරගත වීමට නියමිතය.

2000 වසරේදී ලෝක රූ රැජන කිරුළ දිනූ ප්‍රියංකාහට රංගන ක්ෂේත්‍ර‍යේ දශක දෙකක් සම්පූර්ණ කිරීමට ඇත්තේ තවත් කෙටි කාලයකි. 2002 වසරේදී විජේ ප්‍රධාන චරිත රඟ පෑ තමිසාන් දෙමළ චිත්‍රපටයෙන් රංගනයට පිවිසි ඇය 2003 දී බොලිවුඩ් සිනමාවට පිවිසියේ සනී ඩියොල් සහ ප්‍රීති සින්ටා සමඟ හීරෝ: ලව් ස්ටෝරි ඔෆ් ස්පයි චිත්‍රපටයෙනි. ඩොන්, දොස්තනා, ක්‍රිෂ්, බර්ෆි!, මේරි කොම් ඇතුළුව හින්දි චිත්‍රපට රැසකට ඇය සිය රංගන දායකත්වය ලබා දුන්නාය. 2015 වසරේදී අමෙරිකානු ත්‍රාසජනක කතා මාලාවක් වන ක්වෙන්ටිකෝ සමඟින් හොලිවුඩයට පිවිසියාය. පසුගියදා ඇය මේ වෙනුවෙන් වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැරියාය. එයින් ඇයගේ සෑම අන්තර්ජාතික හා ජාතික ජයග්‍රහණයක්ම විදහා දක්වන අතර ගැහැනු ළමයින්ගේ අධ්‍යාපනය සහ කාන්තාවන් සවිබල ගැන්වීම වැනි උදාර අරමුණු සඳහා ඇයගේ දායකත්වය ද එයින් පෙන්නුම් කෙරිණි.