අංගාරා සමඟ නවක අධ්‍යක්ෂවරයෙක්

පොඩි විජේ එදා කලං මෙදා අකිල
ජූලි 16, 2020

මෙරට එක්තරා යුගයක ආන්දෝලනාත්මක චරිතයක් වන පොඩි විජේගේ ජීවිත කතාව අලළා නිර්මාණය වන තවත් සිනමාපටයක් පිළිබඳ පුවතක් සරසවියට වාර්තා විය. අංගාරා ලෙසට නම තබා ඇති එය සමඟින් නවක අධ්‍යක්ෂවරයකු ද සිනමාවට එක් වීම විශේෂත්වයකි. ඔහු අරුණ ප්‍රේමරත්නයි. පේරමඩුව, මීදුම, කළුවර ආදී ටෙලි නිර්මාණ පුංචි තිරයට ගෙන ආ අරුණගේ කුලුඳුල් සිනමා නිර්මාණය වන්නේ අංගාරා වේ. එදා රිදී තිරයට පොඩි විජේ චරිතය ගෙන එනු ලැබුවේ නැසීගිය චිත්‍රපට අධ්‍යක්ෂ නිශාන්ත ද අල්විස්ය. පොඩි විජේ නමින් තැනුණ එම සිනමාපටයේ පොඩි විජේ චරිතයට අමරසිරි කලංසූරිය පණ පොවනු ලැබීය. පොඩි විජේගේ කතාව අංගාරා නමින් නිර්මාණය වෙද්දී අකිල ධනුද්ධර විසින් එකී චරිතය රඟනු ලබයි. දිල්හානි අශෝකමාලා, ජයනි සේනානායක, නලීන් ප්‍රදීප් උඩවෙල, ජගත් බෙනරගම, ජයන්ත මුතුතන්ත්‍රි, සරත් චන්ද්‍රසිරි, ඉෂාන් ගම්මුදලි, දිලිප් මනෝහර, ලක්ෂිකා ජයවර්ධන දයාසිරි හෙට්ටිආරච්චි, කපිල සිගේරා, පවිත්‍රා වික්‍රමසිංහ, මනෝජ් යටගල, දුලීකා දුලංජලී, කුමාර උපුල් ප්‍රියාන් මෙහි අනෙකුත් චරිත රංගනයේ යෙදෙති.

දිලිප් මලින්දගේ කැමරා අධ්‍යක්ෂණයකි. තරිඳු ඉලංගකෝන් සහාය අධ්‍යක්ෂවරයාය. හැරල්ඩ් විජේසිංහ නිෂ්පාදන කළමනාකරුය. කසුන් මාධවගේ සංස්කරණයකි. රුවින් බුද්ධික පිටපත රචනා කොට තිබේ. ගයාන් මාපලගම අංග රචනයෙන් එකතු වේ. අංගාරා ළඟදීම රූගත කිරීමට නියමිතය.