සමුගන්න අවසරද මගේ නවතම ගීතයයි

- දිනේෂ් ප්‍රනාන්දු
ජූලි 16, 2020

දිනේෂ් ප්‍රනාන්දු මේ වන විට වෙසෙන්නේ ඉතාලියේ වෙරෝනා නුවර. ඔහු ඒ ප්‍රදේශයේ වඩාත් ප්‍රකට කණ්ඩායම් සංගීත ශිල්පියකු ලෙස. දිනේෂ් ඉතාලියේ රසෝරා නමින් සංගීත කණ්ඩායමක් ද පවත්වාගෙන යනු ලබනවා. මේ ඔහු තමන්ගේ කලා දිවිය ගැන දැක් වූ අදහස් කිහිපයක්.

මං ඉතාලි එන්නෙ දෙදහස් නවයේ. ලංකාවේ මං පදිංචි වෙලා හිටියේ හලාවත. ඒ පැත්ත කොහොමත් සංගීතයට ප්‍රසිද්ධයිනේ. මමත් ඒ ආභාසය ලැබුවා. ජාතික තරුණ සේවා සභාවට මං කාලයක් සම්බන්ධ වෙලා හිටියා. මං සංගීත ශිල්පියකු විදිහට මතු වෙන්නෙ එතැනින් කිව්වොත් වැරදි නැහැ. “සිත තාම” කියලා මං මගේ පළමු ගීතය නිර්මාණය කළා. ඒකට වීඩියෝ එකකුත් කෙරුවා. “සමුගන්න අවසර ද” තමයි මගේ නවතම ගීතය. ඒක පද රචනා කරලා දුන්නේ සම්පත් ප්‍රනාන්දුපුල්ලෙ. සංගීතය ප්‍රසංග තිසේරාගේ. ඒකට තවම වීඩියෝ එකක් කළේ නැහැ. ළඟදීම වීඩියෝවක් නිකුත් කරනවා. ඉතාලියේ බොහෝ කලා කටයුතුවලට මං දායක වී සිටිනවා. සංගීත කණ්ඩායම් ගෙන්වා ප්‍රසංග රැසක් මං සංවිධානය කළා. මේ කටයුතු අතරේ තමයි ගායනයේ් යෙදෙන්නේ. මං ලංකාවෙ ඉන්න කොට සුපර් ස්ටාර් තරගාවලියටත් එකතු වුණා. ඒකෙ මට අවසන් අදියරට එන්න සමත්කම තියෙද්දියි විදෙස් ගත වෙන්න වුණේ. මේ වෙලාවේ මට මගේ අම්මා මේරි පුෂ්පා, පියා විරාජ් ප්‍රනාන්දු, මාමා ලක්ෂ්මන්, සුරංජි, චමීර ඇතුළු පිරිස මට බෙහෙවින් උදවු කළා. ඒ අයව මම මතක් කරනවා බොහොම ආදරෙන්.