දේශීය සිනමාවේ සුවිශේෂි මොහොතක්

කාන්ස්වලට බඹරු ඇවිත්
ජූලි 23, 2020

ලොව අග්‍රගණ්‍ය උලෙළක් සේ සැලකෙන කාන්ස් සිනමා උලෙළේ මෙවර සංරක්ෂිත චිත්‍රපට දැක්ම උදෙසා ආචාර්ය ධර්මසේන පතිරාජ නිර්මාණය කළ බඹරු ඇවිත්  සිනමාපටය තිරගත කිරීමට නියමිතය. 1978 වසරේ නිර්මාණය කළ එහි ශබ්ද සහ පටල පටය නවතම ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය කොට ඇත. 

ජෝ අබේවික්‍රම, විජය කුමාරතුංග, මාලිනී ෆොන්සේකා, සිරිල් වික්‍රමගේ, අමරසිරි කලංසූරිය, රූබි ද මැල්, විමල් කුමාර ද කොස්තා, දයා තෙන්නකෝන්, ඩබ්ලිව්. ජයසිරි ඇතුළු නළු නිළියන් රැසක් චරිත මවන  බඹරු ඇවිත් මෙවර කාන්ස් උලෙළේ සංරක්ෂණය කොට තිරගත කිරීම දේශීය සිනමාවේ සුවිශේෂී සලකුණක් ලෙස සැලකිය හැකිය. සම්ප්‍රදායිකව මැයි මාසයේ පැවැත්වෙන කාන්ස් සිනමා උලෙළ කෝවිඩ් 19 හේතුවෙන් කල්ගිය අතර මෙවර කාන්ස් සිනමා උලෙළේ චිත්‍රපට දැක්ම ප්‍රංශයේ ලියෝන් නගරයේ ලුමියර් උලෙළට සමගාමීව ලබන  ඔක්තෝබර් 10 වැනිදා සිට පැවැත්වේ.

මෙහිදී ලොව බිහි වූ  විශිෂ්ටතම චිත්‍රපට 25 ක් නව තාක්ෂණයෙන් සංරක්ෂණය කොට ඇති අතර එහිදී වොංග් කාර් වයිගේ ඉන් ද මූඩ් ෆොර් ලව්, පීටර් වොලන්ගේ ෆ්‍රෙන්ඩ්ෂිප්ස් ඩෙත්, බර්ට්‍රම් බ්ලයර්ගේ ගෙට්අවුට් යුවර් හැන්කර්චිෆ්, ආර්. ඩී. පෙස්තොන්ජිගේ බ්ලැක් සිල්ක්, හූ සෑංග්ගේ නිව් ඉයර් සැක්රිෆයිස්, ෆෙඩ්රිකෝ ෆෙලනිගේ  ලා ස්ටාඩා, ෂාන්ලුක් ගොඩාර්ඩ්ගේ බ්‍රෙත්ලස්, මයිකල් ආන්ජලෝ අන්තෝනියෝගේ ලා අවෙන්චුරා, පියරෝ පැඕලෝ පැසලෝනිගේ ඇක්ටෝන් වැනි ලොව ඉහළම ගණයේ චිත්‍රපට 24 බඹරු ඇවිත් සමඟ තිරගත වනු ඇත.