බොරු පාට නැහැ

ජූලි 30, 2020

කොරෝනා වෛරසය ව්‍යාප්තිය බොලිවුඩයේ ජනප්‍රිය පුද්ගලයින් ඇතුළු ජනතාවගේ ජීවිත නවතා දමා තිබේ. තවමත් නවතා දැමූ බොහෝ සිනමා නිර්මාණයන්හි වැඩ කටයුතු නැවත ආරම්භ කර නොමැති අතර විවේකය හිමි බොලිවුඩ් තරු කිහිපයක් තම මිතුරන් හා රසිකයන් සමඟ සම්බන්ධ වෙමින් කාලය ගත කිරීම සඳහා සමාජ මාධ්‍ය වෙත අවධානය යොමු කරති. මේ අතර මලයිකා අරෝරා ද ඇගේ පින්තූර සහ වීඩියෝ අන්තර්ජාලය හරහා බෙදාහදා ගැනීම ඉතා උනන්දුවෙන් දක්වන බව පෙනේ. ඇගේ ඉන්ස්ටග්‍රම් ගිණුමට අලුතින්ම එක් කර තිබෙන්නේ උදැසනක ගත් ඇයගේ ඡායාරූපයකි. එහි විශේෂත්වය වී තිබෙන්නේ මුළුමනින්ම වේශ නිරූපණයෙන් තොර මලයිකාගේ ඡායාරූපයක් වීමයි.

මලයිකා අරෝරා සහ අර්බාස් ඛාන් ඔවුන්ගේ 19 වසරක විවාහය 2017 දී අවසන් කළහ. දික්කසාදයෙන් පසුව ඔවුන් දෙදෙනා කිසි විටෙකත් ඔවුන්ගේ ජීවිතය ගැන කතා කළේ ද නැත. 46 හැවිරිදි මලයිකා අරෝරා මේ වන විට 35 හැවිරිදි අර්ජුන් කපූර් සමඟ ආදරයෙන් බැඳී සිටින්නීය. "ඔබව තේරුම් ගත් අයෙකු සොයා ගැනීම ඉතා අපහසුයි. අර්ජුන් මාව හොඳීන්ම තේරුම් ගත් අයෙක්. ඔහු මට සිනහව ගෙන එයි." ඇය පවසන්නීය.