දීපිකා තෙළිඟු සිනමාවට

ජූලි 30, 2020

දීපිකා පදුකෝන් මේ වන විට දැවැන්ත තෙළිඟු සිනමා නිර්මාණයක් වෙනුවෙන් ගිවිසුම් අත්සන් කර අවසන්. මීට දින කිහිපයකට පෙර දීපිකා සිය නව චිත්‍රපටය නිවේදනය කළ අතර එහිදී ප්‍රකාශ කර සිටියේ ඇය දකුණු ඉන්දීය නළු ප්‍රභාස් සමඟ සිනමා නිර්මාණයකට දායකවීමට නියමිත බවයි. මෙම චිත්‍රපටය යුරෝපය පුරා රූගත කිරීමට නියමිත අතර නිෂ්පාදනය කරනු ලබන්නේ මෑතකදී වසර 50 ක් සම්පූර්ණ කළ විජයන්ති එන්ටර්ටේන්මන්ට්ස් විසිනි. එය රුපියල් කෝටි 400 ක අයවැයක් මත සිදුකිරීමට නියමිතව ඇත.

අශ්වින් නාග් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මෙම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් දීපිකාහට ඉන්දීය රුපියල් කෝටි 20ක මුදලක් ගෙවීමට නියමිත බවත් වාර්තා වේ. දීපිකා සිනමාවට පිවිසියේ ඓශ්වර්යා නම් කණ්ණඩ චිත්‍රපටයෙනි. මෙම නව චිත්‍රපටය ඇය දායක වන පළමු තෙළිඟු චිත්‍රපටයයි. දීපිකා අවසන් වරට දකින්නට ලැබුණේ විචාරක පැසසුමට ලක් වූ නමුත් බොක්ස් ඔෆිස් වාර්තා තැබීමට අපොහොසත් වූ චාපාක් චිත්‍රපටයෙනි..