ජාතික ගුවන්විදුලි සංස්ථාව නව නිර්මාණ ශිල්පීන්ට අත්වැලක් සපයයි

ජූලි 30, 2020

ජාතික ගුවන්විදුලියේ සංගීත අංශය ජාතික ගුවන්විදුලිය තරමටම පැරැණිය. එදා සිට අද දක්වා ගුවන්විදුලි ඉතිහාසයේ සංගීත අංශය නිර්මාණ සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාද්‍ය ශීල්පීන්, ගායන ශීල්පී ශිල්පිනීන්, සංගීතඥයන්, පද රචකයන්, සංගීත අලංකරණ ශිල්පීන් බිහි වූයේ ජාතික ගුවන් විදුලියේ සංගීත අංශය ඔස්සේය. එහි තවත් පියවරක් තබමින් ගායක ගායිකාවන්ට තමන්ගේ ගීත පටිගත කිරීම ඇතුළු ඒ හා සබැඳි කටයුතු රැසක් සඳහා නවතම තාක්ෂණයෙන් යුතු ශබ්දාගාරයක් ස්ටුඩියෝ 5 නමින් ජාතික ගුවන්විදුලි පරිශ්‍රයේදී පසුගියදා ආරම්භ කෙරිණ. එමඟින් සහනදායී ක්‍රමයක් යටතේ එම සංගීතමය පටිගත කර ගැනීම් සිදු කිරීමට හැකියාව තිබේ. ගුවන්විදුලි සංස්ථාව බලාපොරොත්තු වන්නේ උසස් රස වින්දනයකින් යුතු නිර්මාණ උසස් ප්‍රමිතියක් සහිත ශ්‍රවණ මට්ටමට ළඟා කරදීමයි. ගුවන් විදුලියේ විශාල ශබ්දාගාර සංඛ්‍යාවක් ඇති අතර ඒවා සංගීත, නාට්‍ය, ප්‍රවෘත්ති, වාර්තා වැඩ සටහන්, ආගමික ආදී විවිධ අවශ්‍යතා සඳහා විවිධ ප්‍රමාණවලින් සහ විවිධ උපකරණවලින් සමන්විතයි. ඒ අතර ස්ටුඩියෝ 5 යන ශබ්දාගාරය පූර්ණ වශයෙන් සංගීත ශිල්පීන් සඳහාම මෑත භාගයේදී වෙන් කරන ලදී.

එහි වගකීම සහ නිර්මාණ කටයුතු සංගීත අංශයට පවරා ඇත. එයින් නව ගීත නිර්මාණ ශිල්පීන් සඳහා සාධාරණ මුදලකට නිර්මාණය කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරන ලද අතර ප්‍රතිලාභයක් ලෙස එක් වරක් එම නිර්මාණ ප්‍රචාරය කරන වැඩ සටහනක් ද ඉන් පසු පරීක්ෂණයකින් අනතුරුව දීර්ඝ ප්‍රචාරයක් සඳහා අවස්ථාවක් හිමි කර දීමට මෙමගින් බලාපොරොත්තු වේ. එමඟින් ගුවන් විදුලි සංස්ථාව බලාපොරොත්තු වන්නේ ප්‍රමිතිගත, ශ්‍රේණිගත, යහපත්, සුභාවිත ගීත එකතුවක් ජාතික ගුවන් විදුලිය හරහා රටට දායාදා කරමින් ප්‍රබුද්ධ ශ්‍රාවක පිරිස් ගොඩ නැඟීමටයි.

ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම මල්ඵල ගන්වමින් ජාතික ගුවන්විදුලිය ජාතික සන්නිවේදනය මනා ලෙස අවබෝධ කර ගනිමින් නව නිර්මාණ ගෙන ඒමට සහ තරුණ පරපුරට අවශ්‍ය පහසුකම් සලස්වමින් කලාවේ ප්‍රගමනය උදෙසා මෙම නව ස්ටුඩියෝව නිර්මාණය කළ බව වත්මන් සභාපති සංගීතවේදී ජගත් වික්‍රමසිංහ මහතා සරසවියට ප්‍රකාශ කළේය.