සුනිල් කොස්තා අහන්න කෙනෙක් නෑ අරඹයි

චින්තක කුලතුංග නිෂ්පාදනයක්
ජූලි 30, 2020

සම්මානනීය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු සහ ජනප්‍රිය රංගන ශිල්පියකුගේ එකමුතුවෙන් තැනෙන ටෙලි සිතුවමක මුහුරත් උලෙළ මෙම මස 31 වැනිදා එනම් හෙට දිනයේ ඇරඹීමට නියමිතය. එම අධ්‍යක්ෂවරයා සුනිල් කොස්තාය. ඔහුගේ මෙම නවතම ටෙලි සිතුවමට නම තබා ඇත්තේ අහන්න කෙනෙක් නෑ යනුවෙනි. එය නිෂ්පාදනය කරනුයේ ජනප්‍රිය රංගන ශිල්පී චින්තක කුලතුංගයි. ඉකුත් වසරේ විකාශය වූ අතිශය ජනාදරයට පාත්‍ර වූ සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලි සිතුවම අධ්‍යක්ෂණය කළේ ද සුනිල් කොස්තාය. රෝමියෝ ජුලියට්, රෝද හතරේ මනමාලයා, සිහින වසන්තයක්, පියස, පින්සර දොස්තර, සුදුයි උසයි අධ්‍යක්ෂවරයා මින් පෙර නිර්මාණය කළ ටෙලි නාට්‍ය අතර තිබේ.

සුනිල්ගේ අහන්න කෙනෙක් නැහැ ටෙලි සිතුවමේ රොජර් සෙනෙවිරත්න, ලක්ෂ්මන් මෙන්ඩිස්, දිල්හානි ඒකනායක, නිරෝෂන් විජේසිංහ, ශලනි තාරකා, වීණා ජයකොඩි, ගිහාන් ප්‍රනාන්දු, උමයංගනා වික්‍රමසිංහ, දුලාන් ලියනගේ, මධුශානි වර්ණකුලසූරිය, ශාලිත ගුණවර්ධන, ආනන්ද කුමාර උන්නැහේ, චින්තක කුලතුංග, සෝමවීර ගමගේ, ප්‍රියංකර රත්නායක, ප්‍රියන්ත සිරිකුමාර, මාලි ජයවීරගේ, නිහාල් මහහෙලගේ, ගෙවින් අභිෂේක්, සම්පත් ජයවීර ඇතුළු පිරිස රංගනයෙන් දායක වෙති.

සිසිකිරණ පරණවිතාන කැමරා අධ්‍යක්ෂවරයාය. අජන්ත අලහකෝන් කලා අධ්‍යක්ෂණයෙන් දායක වේ. නිලන්ත රණසිංහගේ සහාය අධ්‍යක්ෂණයකි. නිෂ්පාදන විධායක වශයෙන් කටයුතු කරනුයේ නිමල් විජේසිරි සේනාධීරයි.

මලිත් පීරිස්ගේ නිෂ්පාදන කළමනාකරණයකි. ශාන් අල්විස් සංස්කරණයෙන් ද, දිනේෂ් සුබසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන් ද මෙයට දායක වේ. උපේකා නිර්මාණි සහ චන්ද්‍රමාල් ප්‍රනාන්දු ගායනයෙන් එක් වනු ඇත.

අධ්‍යක්ෂණය මෙන්ම රචනය සුනිල් කොස්තාගෙනි. කිංස්ටන් හෝල්ඩිං ඉදිරිපත් කිරීමකි.