රහ්මාන්ට බොලිවුඩයෙන් කැපිල්ලක් ?

අගෝස්තු 6, 2020

තමාට විරුද්ධව බොලිවුඩයේ කල්ලියක් කටයුතු කරන බවට සම්මානනීය සංගීත අධ්‍යක්ෂවරයකු වන ඒ. ආර් රහ්මාන් චෝදනා කර සිටී. ඔහු පසුගිය දිනෙක පවසා සිටියේ, බොලිවුඩයේ අවස්ථා ලබා ගැනීමේදී තමාට එරෙහිව කල්ලියක් කටයුතු කරන බවයි. ඔහු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ අවසන් චිත්‍රපටය වන දිල් බෙචාරා සඳහා සංගීත අධ්‍යක්ෂණය කළ අතර එයින් පසු පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඇසූ, බොලිවුඩ් චිත්‍රපට සඳහා වැඩි වශයෙන් සංගීතය රචනා නොකරන්නේ මන්දැයි යන ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් මෙලෙස පැවසීය. මේ පිළිබඳ හෙළිදරව් වීම ආරම්භ වන්නේ ද දිල් බෙචාරා චිත්‍රපටය සමඟිනි. දිල් බෙචාරා අධ්‍යක්ෂ මුකේෂ් චබ්රාට තම පළමු චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් රහ්මාන් වෙත නොයන ලෙස උපදෙස් ලැබුණු බව ඔහු තමා වෙත දන්වා සිටි බවත් රහ්මාන් පවසන්නේය. මම බොලිවුඩයේ අඩුවෙන් වැඩ කරන්නේ ඇයි ද? මෙන්ම මෑත කාලීනව හොඳ චිත්‍රපට මා වෙත නොඑන්නේ මන්ද යන ප්‍රශ්නවලට දැන් පිළිතුරු මා සතුයි ඔහු එම සාකච්ඡාවේදී පැවසීය. චිත්‍රපට නිෂ්පාදක ශේඛර් කපූර් ද පවසන්නේ සංගීතඥ ඒ.ආර්. රහ්මාන් බොහෝ විට හින්දි සිනමා කර්මාන්තයේ දුෂ්කරතාවන්ට මුහුණදීමට හේතුව වී ඇත්තේ ඔහුගේ ඔස්කාර් සම්මාන නිසා බවයි. කපූර් මෙම ප්‍රකාශය කර සිටියේ රහ්මාන්ගේ සම්මුඛ සාකච්ඡාවෙන් පසුවය. එහිදී ඔහු ද කියා සිටියේ බොලිවුඩයේ ඔහුට එරෙහිව කල්ලියක් ක්‍රියාත්මක වන බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට චිත්‍රපට අඩු බවත්ය. රහ්මාන් සිනමාවට පිවිසියේ 1992 වසරේ මනිරත්නම් අධ්‍යක්ෂණය කළ අධණච චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයට දායක වෙමිනි. එදා මෙදා තුර දෙමළ, හින්දි, තෙළිඟු, මලයාලම්, කණ්ණඩ සහ ඉංග්‍රීසි චිත්‍රපට රැසකට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වී ඇති ඔහු ඔස්කාර් සම්මාන ද්විත්වයක් ඇතුළුව ග්‍රැමී සම්මාන, ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන, ඉන්දීය ජාතික සම්මාන සහ ෆිල්ම්ෆෙයාර් සම්මාන රැසකට ද හිමිකම් කියන්නේය.