ලතාගෙන් මෝදිට රක්ෂා බන්ධන්

අගෝස්තු 13, 2020

පසුගිය 03 වැනිදා ඉන්දියාවේ රාඛි උත්සවය පැවැත්විණි. රාඛි උත්සවය යනු ආරක්ෂාව ලබා ගැනීම පිණිස සොහොයුරියක විසින් රාඛි නමින් හඳුන්වන ශුද්ධ වූ නූල් පටක් සොහොයුරකුගේ අතෙහි ගැට ගැසීමකි. මීට ප්‍රතිචාර වශයෙන් සොහොයුරා විසින් සොහොයුරියට ත්‍යාගයක් දී ඇගේ ආරක්ෂාව සළසන බවට කැප වෙයි. රාඛි උත්සවය එකම පවුලේ සහෝදර සහෝදරියන් අතර පමණක්ම සිදුවිම අවශ්‍ය නොවේ. පසුගියදා ඉන්දීය ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කර් විසින් රක්‍ෂා බන්ධන් සුබ පැතුමක් අගමැති නරේන්ද්‍ර මෝදිට ඉදිරිපත් කළා.  

අග්‍රාමාත්‍යවරයා ලෙස මෝදි දැරූ උත්සාහයට ප්‍රශංසා කරමින් 90 හැවිරිදි මංගේෂ්කර් සිය ට්විටර් ගිණුමේ අගමැතිවරයා සමඟ ඇගේ පින්තූර වීඩියෝ පටයක් පළ කළා. එහි මංගේෂ්කාර් පවසා සිටින්නේ, කොරෝනා වෛරස් වසංගතය නිසා ඇයට ඔහු වෙත රාඛි යැවිය නොහැකි බවයි. 

“මට අද රාඛි යැවිය නොහැක. එයට හේතුව මුළු ලෝකයම දන්නා කරුණකි. නරේන්ද්‍ර බායි, ඔබ ජාතිය වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කර ඇති අතර එය පුරවැසියන්ට කිසිදා අමතක කළ නොහැකි වනු ඇත.” රක්ෂා බන්ධන් පණිවුඩය සමඟින් මංගේෂ්කර් කියා සිටියේ රට ඉදිරියට ගෙන යන බවට අගමැතිවරයා පොරොන්දු වීම ඇයට අවශ්‍ය බවය. “අද ඉන්දියාවේ මිලියන සංඛ්‍යාත කාන්තාවන්ට ඔබට රාඛි ගැට ගැසීමට නොහැකි වනු ඇත. මෙම රාඛි දිනයේදී, ඉන්දියාව ඉදිරියට ගෙන යෑමට අපට පොරොන්දු වන්න. නාමස්කර්, ”ඇය තවදුරටත් පැවසුවාය. මෙම විශේෂ ශ්‍රව්‍ය පණිවුඩයට ප්‍රතිචාර දක්වමින් අගමැති මෝදි ජනප්‍රිය ගායිකාවගේ පැතුම් තමාට ආශ්වාදයක් ලබා දෙන බවයි. “ලතා අක්කේ, මෙම සුබ අවස්ථාවෙහිදී, ඔබගෙන් ලැබුණු සුබ පැතුම මාහට ඉමහත් ආශ්වාදයක් හා ශක්තියක් ලබා දී තිබේ. මිලියන සංඛ්‍යාත මව්වරුන්ගේ සහ සහෝදරියන්ගේ ආශිර්වාදය ඇතිව අපේ රට වඩාත් ඉහළ මට්ටමකට පැමිණ සාර්ථකත්වය අත්කර ගනු ඇත.” අගමැති මෝදි ඒ වෙනුවෙන් පිළිතුරු සටහන් කළේය. පසුගිය වසරේදී මාසික ගුවන් විදුලි දේශනයක් අතරතුර අගමැති මෝදි විසින් ලතා මංගේෂ්කර් වැඩිමහල් සහෝදරියක් ලෙස හඳුන්වා ඇති අතර ඇයගේ නිහතමානිකම පැසසුමට ලක්  කළේය.