සරසවිය සමඟ එක්වී ස්කෝප් චිත්‍රපට දැක්ම සැප්: 4 ඇරැඹේ

තිරගත නොවූ චිත්‍රපට 5ක් නැරඹීමට අවස්ථාවක්
අගෝස්තු 27, 2020

කොරෝනා වසංගතයෙන් පසු මෙරට සිනමාවේ නව ප්‍රබෝධයක් ඇති කරලීමේ අරමුණින් මෙතෙක් තිරගත නොකළ චිත්‍රපට ඇතුළත්  චිත්‍රපට උලෙළක් එළැඹෙන සැප්තැම්බර් 4 වැනිදා සිට ඇරඹීමට   කොළඹ ස්කෝප් සිනමා ආයතනය සූදානම් වෙයි.  සරසවිය මේ සඳහා දායක වන්නේ හැට වසරකට ආසන්න කාලයක් ලාංකික සිනමාව වෙනුවෙන් තබන තවත් පියවරක් හැටියටය. සරසවිය-ස්කෝප් සිනමා සොම්නස ලෙස නම තබා ඇති මෙම සිනමා උලෙළට සිනමාපට පහක් එළඹෙන සැප්තැම්බර් මස 04 සිට දිනපතා පෙරවරු 10.30, 2.30 හා රාත්‍රී 7.00 වේලාවන්හි ප්‍රදර්ශනය වන අතර උලෙළ පැවැත් වනුයේ කොල්ලුපිටියේ ලිබර්ටි සිනමා ශාලාවේදීය. 

එමෙන්ම ඒවා එකිනෙකට වෙනස් ඉතාම ජනප්‍රිය ශෛලීන් රැසක එකමුතුවක් වීම ද විශේෂත්වයකි.

වර්තමානයේ ලිබර්ටි සිනමාහල ඉතා දියුණු අධිතාක්ෂණයෙන් යුත් නවීකරණය වූ සිනමාශාලා සංකීර්ණයක් බවට පත් වී ඇත. චිත්‍රපට උලෙළේ ඒ ඒ දිනවල ප්‍රදර්ශනය වන සිනමාපටවල රංගනයේ යෙදෙන සිනමා නළු නිළියන් ද සහභාගිවීමට නියමිතය. උලෙළ සියලු ප්‍රේක්ෂකයන්ට විවෘතව පවතින අතර මෙම විරල අවස්ථාවට සහභාගිවීමට සංවිධායක කමිටුව ඔබට ඇරැයුම් කරයි.

සැප්තැම්බර් 04 වැනිදා

ජයන්ත චන්ද්‍රසිරිගේ මිදුණු විශ්වය

සරසවිය සම්මාන දිනූ සිනමා අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරිගේ හය වැනි සිනමාපටය වන මිදුණු විශ්වය සරසවිය පුවත්පත හා සබැඳි කතා පුවතක් ඔස්සේ නිර්මාණය වී තිබේ. ඔහුගේ අග්නි දාහය, ගරිල්ලා මාකටිං, සමනල සන්ධ්වනිය, මහරජ ගැමුණු සහ ඝරසරප ආදී  නිර්මාණ මෙරට සිනමාවේ සුවිශේෂ අත්දැකීම්ය.

උද්දික ප්‍රේමරත්න, උදාරි වර්ණකුලසූරිය, ශ්‍රියන්ත මෙන්ඩිස්, චුලක්ෂි රණතුංග, දමිතා අබේරත්න,  කුසුම් රේණු, වසන්ත විට්ටච්චි, ගාමිණී ජයලත්, දිමුතු චින්තක, හේමන්ත රන්දුණු, ජයනාත් බෝධාහන්දි, දිලීප අබේසේකර (ආරාධිත) ඇතුළු  පිරිස මිදුණු විශ්වය රංගනයෙන් හැඩ කරති.

මෙය රූ සිනමා වෙනුවෙන් රුවන් ජයසිංහගේ නිෂ්පාදනයකි.

සැප්තැම්බර් 05 වැනිදා

ගිරිරාජ් කෞශල්‍යගේ කතුරු මිතුරු

ප්‍රේක්ෂකයා සිනහ සයුරේ ගිල්විය හැකි අධ්‍යක්ෂවරයකු වන  ගිරිරාජ් කෞශල්‍යයගේ තුන්වැනි සිනමා නිර්මාණයයි. සිකුරු හතේ, සුහද කොකා ඔහුගේ සෙසු චිත්‍රපටය. 

ඉතා හාස්‍යෝත්පාදක සිනමාපටයක් ලෙස හඳුන්වා දිය හැකි කතුරු මිතුරු බාබර් සහ ටේලර්වරයකුගේ කතා පුවතකි. නැසීගිය විශිෂ්ට රංගනවේදී ආචාර්ය ජයලත් මනෝරත්න සහ සම්මානනීය නළු මහේන්ද්‍ර පෙරේරා එකී චරිත මනා ලෙසට පණ පොවා තිබේ. නැසීගිය ප්‍රවීණ රංගධර විජය නන්දසිරිගේ දයාබර පුතණුවන් වන රසාංජන  නන්දසිරි මෙහි ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීම විශේෂත්වයකි. රොඩ්නි වර්ණකුල, ප්‍රියන්ත සෙනෙවිරත්න, මොරින් චාරුනී, ජයනි සේනානායක මිහිර සිරිතිලක, ගිහාන් ප්‍රනාන්දු, සඳුනි හෙට්ටිගොඩ ඇතුළු නළු නිළියන් රැසක් මෙහි රංගයෙන් දායක වෙති. කතුරු මිතුරු ආලංකුලම සිනමා වෙනුවෙන් බාසුරු  සිරිවර්ධනයන්ගේ නිෂ්පාදනයකි.

 

සැප්තැම්බර් 06 වැනිදා

චන්න පෙරේරාගේ යුගාත්‍රා 

අංජලිකා සිනමාපටය නිර්මාණය කරමින් සිංහල  සිනමාවට අමුතුම චමත්කාරයක් කැන්දූ චන්න පෙරේරාගේ නවතම සිනමාපටයයි යුගාත්‍රා. අප සිනමාවට පූජා උමා ශංකර් හඳුන්වා දුන්නේ ද චන්නය. ආදර කතා වැඩි වශයෙන් සිනමාවට  ගෙන ආ චන්නගේ යුගත්‍රා ද අපූරු ආදර කතාවකි. සනත් ගුණතිලක, චන්න පෙරේරා, මාෂි සිරිවර්ධන, අසංකි ද සිල්වා, නදීකා ගුණසේකර, ලක්ෂ්මන් මෙන්ඩිස් ආදීහු යුගත්‍රා රංගනයෙන් හැඩ කරති.

මෙය ඉසුරු විජේසිංහ, ජානකී එදිරිසූරිය ශ්‍රියානි සේනානායක, වසන්ත පෙරේරා සහ ආචාර්ය ජයන්ත ධර්මදාස නිෂ්පාදනයකි.

සැප්තැම්බර් 07 වැනිදා

සුසිරන් ද සිල්වාගේ මිස් ජෙනිස්

නැසීගිය විශිෂ්ට රංගනවේදී ආචාර්ය ජයලත් මනෝරත්න කාන්තාවකගේ වෙස් ගත්තේ මේ සිනමාපටයේය. මෙහි අධ්‍යක්ෂ  සුසිරන් මනෝකාය, එකට ගැටුම, ඉසුරුයෝගය වැනි මනස්කාන්ත ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළේය. මිස් ජෙනිස් ඔහුගේ කුලුඳුල් සිනමාපටයයි. දුලිකා මාරපන, ගිරිරාජ් කෞශල්‍ය, උදාරි පෙරේරා, රොෂාන් රණවන, කුමාර තිරිමාදුර ඇතුළු පිරිස මිස් ජෙනිස් රංගනයෙන් හැඩ කරති. මෙය වෝල්ටර් අබේසුන්දරගේ නිෂ්පාදනයකි.

සැප්තැම්බර් 08 වැනිදා

උදයකාන්ත වර්ණසූරියගේ ගින්දරී 3

බහුභූතයෝ, ගින්දරී 2 වැනි සිනමාපටයන් ඔබ මතකයෙන් බැහැර වී  නොමැති බවට නොඅනුමානය. එම සිනමාපට මාලාවේ දිගුවක් ලෙස ගින්දරී 3 සිනමාපටය හඳුන්වා දිය හැකිය. බහුභුතයෝ සිනමාපටයේ ප්‍රධාන චරිතය වන ටිකිරි නැමැති යක්ෂණිය  ගින්දරී 3 සිනමාපටයෙන් ද ඔබ හමුවට එයි. එයට සුපුරුදු පරිදි පබෝධා සංදීපනී පණ පොවනු ලබයි. රොඩ්නි වර්ණකුල, මහේන්ද්‍ර පෙරේරා, චුලක්ෂි රණතුංග, ශ්‍රීනාත් මද්දුමගේ, සමන් හේමරත්න, රිචඩ් මානමුදලි, ටිශෝන් වැන්හොෆ්, රවීන් වීරසිංහ, සරත් කොතලාවල ඇතුළු නළු නිළියන් රැසක් මෙහි  රංගනයේ යෙදෙති.

ගින්දරී 3 උදයකාන්ත වර්ණසූරියගේ නිෂ්පාදනයකි.