කොළඹින් අපේ සිනමාවට එක්වන දැවැන්ත රිදී තිරය

සැප්තැම්බර් 3, 2020

දේශීය සිනමාවට එක්වන නවතම සිනමා සංකීර්ණය තව නොබෝ දිනකින් දෙමටගොඩ දී විවෘත වනු ඇත. දෙමටගොඩ  අලුතින් ඉදිවන  කාගිල්ස් ගොඩනැඟිල්ලේ  පිහිටි මෙම  සිනමා ශාලා පද්ධතියට ශාලා තුනක් ඇතුළත්ය. එය දෙමටගොඩ රීගල් නමින් හැදින්වේ. මෙහි මුල් සිනමාශාලාව ආසන 253 කින් සමන්විත අතර එහි ඇති දැවැන්ත සිනමා තිරය කොළඹ පිහිටි විශාලතම ඩිජිටල් සිනමා තිරයයි. එම සිනමාශාලාව ත්‍රිමාණ චිත්‍රපට ප්‍රදර්ශනයේ ද යොදන අතර දෙවැනි සිනමාශාලා හා තෙවැනි සිනමාශාලා ආසන 99 බැගින් සමන්විතය. මේ සිනමා ශාලා සියල්ල 2ඬ ප්‍රක්ෂේපණයෙන් මෙන්ම  අති නවීනතම ශබ්ද තාක්ෂණයෙන් ද එහි චිත්‍රපට රසවිඳීය හැකි බැව් රීගල් සිනමා සංකීර්ණයේ පාලනාධිකාරය මෙහෙයවන සීමාසහිත සිලෝන් තියටර්ස් සමාගමේ අලෙවි කළමනාකරු වජීන්ද්‍ර කන්නන්ගර සරසවියට පැවසුවේය. සිංහල චිත්‍රපට සඳහා ප්‍රමුඛස්ථානයක් ලැබෙන මෙම සිනමා සංකීර්ණයේ දෙමළ හා ඉංග්‍රිසි යන භාෂා ත්‍රිත්වයෙන්ම චිත්‍රපට තිර ගත වනු ඇත. 

පසුගිය කාලයේ රට පුරා පැවැති පැරැණි සිනමාහල් බොහොමයක් එකින් එක වැසී ගිය ද ඒ වෙනුවට අලුත් තාක්ෂණයෙන් යුත් නවීනතම සිනමා සංකිර්ණ බිහිවිම ලොව පුරා ප්‍රවණතාවක් ව පවතියි.  ලංකාවේ වෙළෙඳ සංකීර්ණ මැදි කරගෙන සිනමාශාලා ඉදිවන්නට පටන්ගත්තේ 1996 වසෙර්ය. ඒ බම්බලපිටියේ මැජස්ටික් සිනමා සංකීර්ණයයි. පළමුව එක් සිනමාශාලාවකින් පටන් ගත් එය  සාප්පු සංකීර්ණයේ ශාලා හතරක් දක්වා වර්ධනය විය. මේ ආකාරයෙන් රට පුරා බොහෝ නගරයන්ගේ සිනමාශාලා, සාප්පු සංකීර්ණ මාධ්‍යයෙහි  ඉදිව තිබේ. කොළඹ මෙන්ම යාපනය, අනුරාධපුර, කෑගල්ල, නුවරඑළිය, ගම්පහ, මාලබේ, රාජගිරිය, නිට්ටඹුව, මාතර ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල අලුත් සිනමාශාලා ඉදිව ඇත්තේ සාප්පු සංකීර්ණ අභ්‍යන්තරයේය. එලෙස ඉදිවන අලුත් සිනමා  සංකීර්ණය වූ දෙමටගොඩ රීගල් සිනමාශාලා කලක් සම්භාවනීය පස් වැනි ප්‍රදර්ශක මණ්ඩලයේ ආරම්භක සිනමාහලක් වූ දෙමටගොඩ මානෙල් සිනමාශාලාව පැවැති භූමියට ඉදිරිපිටින් ගොඩනැඟීම විශේෂයකි.