සුෂාන්ත්ගේ මරණයට මත්ද්‍රව්‍ය ගනුදෙනුවකුත්

සැප්තැම්බර් 17, 2020

බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත් පසුගිය ජුනි 14 වැනිදා උදෑසන මුම්බායි, බන්ද්‍රා හි පිහිටි නිවසේදී ගෙල වැළලා ගෙන සියදිවි ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා ගෙන ආවා. සුෂාන්ත්ගේ මූලික මරණ පරීක්ෂණයෙන් හෙළි කර සිටියේ, ඔහු  මානසික අවපීඩනයෙන් පෙළෙනු පුද්ගලයකු බවයි.

සුෂාන්ත්ගේ මරණය සම්බන්ධයෙන් විවිධ කතා පැතිරුණු අතර ඔහුගේ මරණය ඝාතනයක් බව ඒ අතර පුමුඛ විය. සති කිහිපයක් ගත වන විට ඔහුගේ මරණය සම්බන්ධ පරීක්ෂණ කටයුතු වෙනත් අතකට හැරුණේ කෝටි ගණනක මුදල් ගනුදෙනුවක් හෙළි වීම සමඟින්.

රංගන ශිල්පී රියා චක්‍රවර්ති, ඇගේ සහෝදරයා සහ පවුලේ තවත් පුද්ගලයින් හය දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් සුෂාන්ත්ගේ පියා ක්‍රිෂ්ණ ක්‍රිෂෝර් සිං විසින් බිහාර් පොලිසියට ගොනු කරන ලද පැමිණිල්ලකට අනුව සුෂාන්ත්ගේ මරණය සම්බන්ධයෙන් කරන ලද විමර්ශණනයේදී රුපියල් කෝටි 15 ක් වටිනා සැක කටයුතු ගනුදෙනුවක් සිදුවී ඇති බව අනාවරණය විය. 

මේ වන විට සුෂාන්ත්ගේ මරණය සමඟ තවත් තොරතුරු හෙළිදරව් වීම සමඟින් ඔහුගේ පෙම්වතිය වූ රියා චක්‍රවර්ති පසුගියදා මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගැනුනි. මියගිය නළු සුෂාන්ත් සිං රාජ්පුත් වෙනුවෙන් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමේදී ඇය කළ භූමිකාව හේතුවෙන් මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු මුම්බායි අධිකරණය විසින් රියාහට දින 14ක අධිකරණ භාරයක් නියම කෙරුණි.

ඒ සමඟ ඇගේ සහෝදරයා වන ෂොයික් චක්‍රවර්ති, සුෂාන්ත් සිං රාජ්පුත්ගේ කළමනාකරු සැමුවෙල් මිරැන්ඩා සහ ඔහුගේ ගෘහ සේවිකා දීපේෂ් සාවන්ත් ද අත්අඩංගුවට ගෙන තිබේ.  මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය සුෂාන්ත් සිං රාජ්පුත් නඩුව සම්බන්ධයෙන් මේ වන විට රියා චක්‍රවර්ති සහ සහෝදර ෂොයික්ගෙන් ප්‍රශ්න කරමින් සිටී.

ඒ අනුව මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය විසින් ඉදිරියේදි බොලිවුඩයේ තවත් නළු නිළියන්, අධ්‍යක්ෂකවරුන් සහ නිෂ්පාදකයින් ඇතුළු බොලිවුඩයේ ජනප්‍රිය පුද්ගලයින් විසිපස් දෙනෙකු ප්‍රශ්න කිරීම් වෙනුවෙන් කැඳවීමට නියමිත බවත් වාර්තා වේ.