අනිල්-ජැකී යළිත්

සැප්තැම්බර් 24, 2020

අනිල් කපූර් සහ ජැකී ෂ්රොෆ් බොහෝ චිත්‍රපටවල රසිකයන්ගේ සිත් දිනාගත් ජ්‍යෙෂ්ඨ බොලිවුඩ් නළුවන් දෙදෙනෙක්. කෙසේ වෙතත්, ඔවුන් දෙදෙනාගේම රසිකයන්ගේ මනසෙහි රැඳී ඇත්තේ 1989 දී තිරගත වූ ඔවුන් දෙදෙනාම එක්ව රඟපෑ චිත්‍රපටය වන ‘රාම් ලඛන්’ය.

අනිල් සහ ජැකී මෑතකදී සමාජ මාධ්‍යවල විහිළු තහළු කරමින් එකිනෙකාට ප්‍රශංසා කරමින් තිරය මත නැවත එක්වන බවට ඉඟි කළහ. "අපගේ ඊළඟ නිර්මාණයට සූදානම් වන්න" ජැකී ෂ්රොෆ් විසින් අනිල්ගේ වීඩියෝවකට ප්‍රතිචාර දක්වමින් සටහන් කළේය.

 අනිල් සහ ජැකී එක්ව තවත් චිත්‍රපටකට දායක වන බව මේ වන විට තහවුරු කර තිබීම හේතුවෙන් බොහෝ දෙනා විමසන්නේ එය ‘රාම් ලඛන් 2’ ද යන්නයි. සුභාෂ් ගයිගේ ‘රාම් ලඛන්’ චිත්‍රපටයේ ජැකී ෂ්රොෆ් රාම් ලෙසත් අනිල් කපූර් ලඛන් ලෙසත් රංගනයෙන් දායක වූහ. එහි කාන්තා ප්‍රධාන චරිත නිරූපණය කළේ ඩිම්පල් කපාඩියා සහ මධුරි ඩික්සිත් විසිනි.

ජැකීගේ මීළඟ චිත්‍රපටය වන්නේ සල්මාන් ඛාන් සහ දීෂා පටානි ප්‍රධාන චරිත නිරූපණය කරන ‘රාධේ : යුවර් මෝස්ට් වෝන්ටඩ් භායි’ චිත්‍රපටයයි. අනිල්, ශේඛර් ගුප්තාගේ ‘මුම්බායි සාගා’ සහ කරන් ජොහාර්ගේ ‘තක්ට්’ චිත්‍රපටවලින් ඔබ හමුවට පැමිණීමට නියමිතව ඇත.