ලොව වටා බොලිවුඩ්

සැප්තැම්බර් 24, 2020

කොරෝනා වෛරසය පැතිර යාම තවමත් ඉහළ මට්ටමක පවතින බැවින් එහි දැඩි බලපෑමක් බොලිවුඩයට එල්ල වී ඇත. මාස හයක පමණ කාලයක් බොලිවුඩයේ කිසිදු වැඩකටයුත්තක් සිදු නොවුණු අතර මේ වන විට ඇතැම් නිර්මාණ රූගත කිරීම් ආරම්භ කර ඇති බවට පුවත් වාර්තා වේ.  

කෙසේ නමුත් බොහෝ අධ්‍යක්ෂවරුන්  පියවර ගෙන තිබෙන්නේ සිය රූගත කිරීම් ඉන්දියාවෙන් පිටත වෙනත් රටවලට ගෙන යාමටයි. පසුගිය මාසයේදී අමීර් ඛාන් සිය ‘ලාල් සිං චද්දා’ චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා තුර්කියට ගොස් තිබුණි. 

අක්ෂේ කුමාර් සමඟ ‘බෙල් බොටම්’ චිත්‍රපට කණ්ඩායම අගෝස්තු මාසයේදී ස්කොට්ලන්තයට ගිය අතර මේ මාසයේදී චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතයට පණ පොවන වානි කපූර් ද එක් විය.

කණ්ඩායම දිගු කාලසටහනකට එහි රූගත කිරීම් සිදු කිරීමට නියමිතව ඇත. ත්‍රාසජනක චිත්‍රපටයක් වන ‘බෙල් බොටම්’ අධ්‍යක්ෂණය කරන්නේ රංජිත් එම් තිවාරි විසිනි. මෙම චිත්‍රපටය 2021 අප්‍රියෙල් 2 වන දින තිරගත වීමට නියමිතය.

දීපිකා පදුකෝන් සති අන්තයේ ගෝව බලා ගියේ ශකුන් භත්‍රාගේ මීළඟ චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා ය. මෙම චිත්‍රපටය මුලදී ශ්‍රී ලංකාවේ රූගත කිරීමට නියමිතව තිබුණද කොරෝනා වසංගතය හේතුවෙන් ඔවුන්ගේ කාලසටහන කල් දැමීමට පියවර ගැනුණි.

ශ්‍රී ලංකාවේ දර්ශන තල වෙනුවට  ගෝව තෝරා ගත් නිෂ්පාදන කණ්ඩායම මාසයකට වැඩි කාලයක් ගෝවහි රූගත කිරීම් සිදු කරනු ඇත.