කපූර් සොයුරියන්ගේ පළමු සිතුවම් දැක්ම

සැප්තැම්බර් 24, 2020

2018 වසරේදී 'ධඩක්' චිත්‍රපටයෙන් බොලිවුඩ් සිනමාවට පිවිසි ජාන්වි කපූර් මේ වන විට බොලිවුඩයේ කැපී පෙනෙන චරිතයක්. පසුගිය කාලයේ කොරෝනා වෛරසය පැතිර යාම සමඟින් ලද විවේකය නිසා ජාන්වි කපූර්හට ඇගේ සොහොයුරිය වන කුෂි කපූර් සහ පියා බොනි කපූර් සමඟ සිය නිවෙසේ ගත කිරීමට කාලය ලැබුණි. එම කාලය තවත් වටිනා දෙයක් වෙනුවෙන් වැය කිරීමටද මෙම දෙසොහොයුරියන් කටයුතු කළ බව දැන ගන්නට ලැබේ. එනම් සිතුවම්කරණයයි. සල්මන් ඛාන්, අර්ෂාඩ් වර්සි වගේම සෝනක්ෂි සිංහාත් පසුගිය කාලයේ තමන් විසින් කළ සිතුවම් අන්තර්ජාලයට එක් කර තිබුණි.

කපූර් සොහොයුරියන් විසින් කළ සිතුවම් ප්‍රදර්ශනය කළේ ඔවුන්නේ පියා වන බොනී කපූර් විසින්. ඔහු සිය ට්විටර් ගිණුමට එම සිතුවම්වල ඡායාරූප එක් කර තිබුණේ අපූරු සටහනක් ද සමඟින්.  “ජාන්වී සහ කුෂි දෙදෙනාම සිතුවම්කරණයට පිවිසියේ ශ්‍රීදේවි සිතුවම් කරන විටදීයි. ඔවුන් මුලින්ම ඇය දෙස බලා මෙම කලාව දියුණු කර ගත්තා. පසුගිය කාලයේ ඔවුන්  එය නැවත ප්‍රගුණ කළා” යනුවෙන් එම සටහන් විය.