ටයිගර්ගෙන් ගීතයක්

සැප්තැම්බර් 24, 2020

ටයිගර් ශ්රොෆ් මෑතකදී දකින්න ලැබුණේ බාගී 3 චිත්‍රපටයෙන්. කොරෝනා වෛරසය ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින විටදී එය රිදි තිරයේ දිග හැරී තිබුණි. 30 හැවිරිදි වියේ පසුවන ටයිගර් රංගන ශිල්පියකු ලෙසින් පමණක් නොව බොලිවුඩයේ දක්ෂ නර්තන ශිල්පියකු ලෙසත් ප්‍රකටයි. ටයිගර් රඟපෑ ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් 2 චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ පුනිත් මල්හෝත්‍රා සමඟ අලුත් ගීත වීඩියෝවක් නිර්මණය කර තිබේ.

“අන්බිලීවබල්” ලෙසින් නම් කළ මෙම ගීතය ගයනා කරන්නෙත් ටයිගර් විසින් වීම විශේෂයි.  ඉන්ස්ටග්‍රම් වෙබ් අඩවියේ මෙම පුවත බෙදාහදා ගනිමින් ඔහු පවසා සිටියේ “අන්බිලීවබල්” ගීතය සමඟින් තමා ගායන දිවියට පිවිසෙන බවයි. “සෑම විටම මට ගීත ගායනා කිරීමට හා නටන්නට අවශ්‍ය වූ නමුත් එය ඉදිරියට ගෙන යාමට කිසි විටෙකත් ධෛර්යයක් නොතිබුණි. පසුගිය කාලයේ රට වසා තැබීම ගවේෂණය කිරීමට හා වැඩ කිරීමට බොහෝ කාලයක් ලැබුණු හෙයින් නව දෙයක් සොයා ගතිමි ”ටයිගර් එහි සඳහන්   කළේය. ටයිගර් විසින් ගායනා කරන මෙම ගීතය බිග් බෑන්ග් මියුසික් විසින් නිෂ්පාදනය කරන ලද  අතර ඩී.ජී. මේන් සහ අවිතේෂ් විසින් රචනා කර ඇත.