ගාමිණිගේ 16 වැනි සැමරුමට පරසතු මල්

සැප්තැම්බර් 24, 2020

හෙළ සිනමා සක්විති යනුවෙන් හැඳින්වෙන යුග පුරුෂයෙකි. අසමසම චරිතයක් වූ මේ අපූරු මිනිසා සිංහල  සිනමාවේ බිහි වූ විශිෂ්ටතම රංගනවේදියෙකි. ඔහු නමින් ගාමිණී ෆොන්සේකාය. රිදී තිරය මත රංගනයෙන් පෙළහර පාමින් සදා අනුස්මරණීය මිනිසකු වූ හෙතෙම 1936 මාර්තු 21 දා උපත ලැබීය.

එදා මෙදාතුර සිනමාපට අතිවිශාල සංඛ්‍යාවක රංගනයේ යෙදුණ ඔහු සරසවිය ඇතුළු සම්මාන රැසකින් ද පිදුම් ලැබීය. 1966 වර්ෂයේ පරසතු මල්  සිනමාපටය අධ්‍යක්ෂණය කරමින් අධ්‍යක්ෂවරයකු  ලෙසට ද විශිෂ්ට දස්කම් පෑ ෆොන්සේකා මහතා 2004 වසරේ සැප්තැම්බර් 30 වැනිදාවක මෙලොවින් සමු ගත්තේය.

ඔහු අප අතරින් සමුගෙන මෙම සැප්තැම්බර් 30 වැනිදාට වසර දහසයකි. එදින සවස 6 ට ජාතික චිත්‍රපට සංස්ථාවේදී  ගාමිණී ෆොන්සේකා සූරීන්ගේ ගුණ අනුස්මරණය පවත්වනු ලැබේ. එදින වැඩසටහන අවසනදී ගාමිණී ෆොන්සේකා රඟපෑ පරසතු මල් සිනමාපටය තිරගතවීමට නියමිතය. එය චිත්‍ර බාලසූරියගේ නිෂ්පාදනයකි.