මිදුණු විශ්වය House full

සැප්තැම්බර් 24, 2020

ගොඩ කාලෙකින් රසකතා කියන්නත් බැරි වුණා. ඒ කාලය අතරතුරදී කලා ක්ෂේත්‍රයේ එක එක තැන්වල වන නොයෙක් සිදුවීම් අපේ නෙත ගැටුණා. ඒවා අඩුවක් නැතුව එකින් එක ඔබ වෙත ගෙන එන්නයි මේ සූදානම් වන්නේ. මුලින්ම පටන් ගන්නේ බෝඩ් හුටපටයකින්.

අපේ පැරණි චිත්‍රපට නරඹපු උදවියට මතක ඇති සෑම චිත්‍රපට හෝල් එකකම වගේ බෝඩ් එකක් තිබුණා.  House full කියලා තමයි එහි සඳහන් වෙලා තිබුණේ. කාලයාගේ ඇවෑමෙන් හෝ වෙනයම් හෝ හේතුවක් මත මේ බෝඩ් එක කුණු බක්කියට විසික් වුණා. එහෙම එකක් තිබුණද කියලත් කාටවත්ම මතක නැති තත්ත්වෙට පත් වුණා.

එහෙම කාලෙක තමයි සරසවිය අප ස්කෝප් සිනමා සමඟ එක්ව සරසවිය ස්කෝප් සිනමා සොම්නස සිනමා දැක්ම පවත්වන්නේ. කොල්ලුපිටිය  දි තමයි එය පැවැත්වුණේ. පළමු දවසේ ප්‍රදර්ශනය වුණේ ජයන්ත චන්ද්‍රසිරිගේ මිදුණු විශ්වය සිනමාපටය. අති විශාල ජනකායක් මේ සිනමාපටය නරඹන්න ආවා. එන්න එන්න සීට් ටික පිරෙනවා. ජයන්තත් සෑහෙන්න සතුටකින් එන අයත් එක්ක කතා කරමින් ඔබ මොබ යනවා. දැන් හරි නේද House full බෝඩ් එක දාන්න. ජයන්ත කිව්වේ යළිත් ශාලාව දෙස බලන ගමන්.

මෙහෙ එහෙම බෝඩ් එකක් නැහැනේ අධ්‍යක්ෂතුමා. එතැන හිටපු වගකිවයුත්තෙක් කිව්වා. ජයන්ත ඇතුළු පිරිස ශාලාවේ ගබඩා කාමරයෙත් හොයලා බැලුවා, එහෙම බෝඩ් එකක් එතනත් නැහැ. මොකද ඒක ගබඩාවෙනුත් අයින් කරලා.

ෂෙහ්.. මොකෝ කරන්නේ. ජයන්ත කල්පනා කරනවා. එතකොටම තමයි ඔහුට ගණ දෙවි නුවණ පහළ වුණේ. දඩිබිඩියේ එතැන තිබුණු කම්පියුටර් එකක් හොයාහෙන  ක්ෂණයෙන් House full බෝඩ් එකක් ඩිසයින් කෙරෙව්වා. ඒකේ ප්‍රින්ට් එකක් අරගෙන තමයි එතන එල්ලුවේ. සිනමා උළෙලේ දිගටම පාවිච්චි කෙරුවේ.

උළෙලේ අන්තිම දවසේ පෙන්නුවේ උදයකාන්ත වර්ණසූරියගේ ගින්දරී 3 සිනමාපටය. සවස දර්ශනය නිමවෙලත් තවත් සෙනඟ එනවා. එදා සැරේ මොකද කළේ රාත්‍රී 9.30ටත් දර්ශනයක් පැවැත්තුවා. ඉතා දිගු කාලෙකට පස්සේ සිංහල සිනමාපටයක රාත්‍රී නවය දර්ශනය පෙන්නුවේ එදා. එය සතුටු වෙන්න පුළුවන් කාරණයක්. ඒකෙත් අර බෝඩ් එකම එල්ලුවා.